දුරස්ථභාවය තියාගෙන උද්ඝෝෂණ කළාට වරදක් නෑ - අනිල් ජාසිංහ

Staff Writer | Author . Translate to English or தமிழ் 6/14/2020 3:35:00 PM
දුරස්ථභාවය තියාගෙන උද්ඝෝෂණ කළාට වරදක් නෑ - අනිල් ජාසිංහ

සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් උද්ඝෝෂණ කරනවානම් එය වරදක් යැයි පැවසිය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා Medialk.com වෙත පැවසීය.

මේ ආකාරයට සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් උද්ගෝෂණයක් පැවැත්වීමට සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කිරීමටද හැකියාව තිබෙන බවද හෙතෙම කීවේය.

"සුළු සංඛ්‍යාවක් දුරස්ථභාවය තියාගෙන උද්ඝෝෂණය කළාට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ සඳහා සීමිත ගණනක් අපිට කියන්න පුළුවන්. නමුත් ලංකාවේ උද්ඝෝෂණ පැවැත්වුණේ එහෙම නෙවෙයි තොගපිටින් ගෙනත් තමයි උද්ඝෝෂණ පැවැත්වූවේ." යැයි අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කීවේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජාලිය සේනාරත්න මහතා පැවසූවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා තමන් කළ කතා අතර පරස්පරතාවක් නැති බවයි.

උද්ඝෝෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් උපදෙස් ලබාගත් බවත් එහිදී නිරෝධායන නීති අනුගමනය නොකරන උද්ඝෝෂණ කිරීමට අවසර නොදෙන මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉල්ලු බවත් සේනාරත්න මහතා කීවේය.

පුද්ගලයන් රාශියක් සහභාගි වන උද්ඝෝෂණවලට අවසර නොදෙන ලෙසට උපදෙස් ලැබුණ බවද ඒ මහතා 
ප්‍රකාශ කළේය.

සමාජ දුරස්ථභාවය තබාගෙන උද්ඝෝෂණ කිරීමේ ගැටළුවක් නැති බවත් ප්‍රදේශ රැසක සිට පැමිණ සමාජ දුරස්ථභාවය නොමැතිව උද්ඝෝෂණ සිදු කිරීම ගැටළුවක් බවත් සේනාරත්න මහතා පැවසීය.

 

Share