පාස්කු ප්‍රහාරය සහ කොරෝනා නිසා උසස් පෙළ සිසුන්ට මාස 05ක් අහිමි වෙලා

Staff Writer | Author . Translate to English or தமிழ் 6/14/2020 1:44:00 PM
පාස්කු ප්‍රහාරය සහ කොරෝනා නිසා උසස් පෙළ සිසුන්ට මාස 05ක් අහිමි වෙලා

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පැය 400කට ආසන්න ඉගෙනුම් කාලයක් අහිමිවී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වීමට පෙර එම අධ්‍යයන කාලය ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා පැවසීය.

මේ හේතුවෙන් පාසල් පවත්වන කාලය පස්වරු 3.30 දක්වා දීර්ඝ කිරීමට සිදුවන බවත් මුලින් ආරම්භවන උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පංති කොටස් කර ඉගෙනීම් කටයුතු ආරම්භකර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

"දරැවන්ට අධ්‍යාපන කාලය විශාල වශයෙන් අහිමිවෙලා නිසා ඊළඟ වාරය තෙක් පාසල් පවත්වන කාලසීමාව 3.30 දක්වා පවත්වන්න සිදුවේවි. විභාගයට ඉදිරිපත්වීමට ඉන්නා දරුවන්ට පැය 400 ආසන්න ඉගෙනුම් කාලයක් අහිමිවෙලා තියෙනවා. එම ප්‍රමාණය අපි ආවරණය කළ යුතුයි. විභාග පැවැත්වීමෙන් පසුව එය තවදුරටත් දීර්ඝ කරන්න අවශ්‍ය නොවේවී.

ඒ වගේම අපි පාසලට ළමයින් ගෙන්වන්නේ පංති කොටස් කරලා. මොකද සමාජ දුරස්ථභාවය තවදුරටත් තබාගැනීම අවශ්‍යයි කියලා සෞඛ්‍ය අංශ අපිට දැනුම්දීලා තිබෙනවා. ඒ අනුව උදය වරුවේ කොටසක් සහ හවස් වරුවේ කොටසක් ලෙස ළමයින් කොටස් කර පාසලට ගෙන්වනවා. මොකද ඇතැම් පාසල්වල දුරස්ථභාවය තියාගෙන පංති පවත්වාගෙන යන්න ඉඩ නැහැ. මේ නිසා පංතියේ සිසුන් කොටස්කර ගෙන්වනවා. පංතියක සිසුන් 40 ක් ඉන්නවානම් අපිට 20 බැගින් තමයි පංතියට ඇතුළත් කරන්න වෙන්නේ. එතකොට තැන් දෙකක උගන්වන්න වෙනවා" යැයි පැවසීය.

කෙසේවෙතත් පාසල් ආරම්භ කිරීමට සැලසුම් කිරීමෙන් පාසල් දරුවන් සහ දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද අර්බුද රැසකට මුහුණ පා ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසිය.

පාස්කු දින ප්‍රහාරය හේතුවෙන් සහ කෝවිඩි-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරැවන්ට මාස 05 වැඩි අධ්‍යයන කාලයක් අහිමීවී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

Share