කොරෝනා අස්සේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න හදන පාලකයෝ

Staff Writer | Author . Translate to English or தமிழ் 6/13/2020 9:49:00 AM
කොරෝනා අස්සේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න හදන පාලකයෝ

කොරෝනා වසංගතය පාලනය කිරීමට යැයි කියමින් ලොව බොහෝ රටවල් විවිධ සීමාකිරීම් ප්‍රකාශයට පත් කළ අතර ඇතැම් රටවල් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.

හදිසි තත්ත්ව රෙගුලාසි යටතේ බොහෝවිට ආණ්ඩුවලට විශේෂ බලයක් හිමිවෙයි.  හදිසි තත්ත්වයක දී බොහෝ විට ආණ්ඩුවට හෝ රාජ්‍ය තන්ත්‍රවයට වැඩි බලයක් හිමිවනුයේ එම හදිසි තත්ත්වයට මුහුණ දීමට සහ එය සාර්ථක ලෙස පාලනය කිරීම සඳහාය. නමුත් ඇතැම් රටවල්වල ආණ්ඩු මෙම  බලය භාවිත කළේ (ඇතැම් රටවල් කරමින් සිටින්නේ)  තමන්ගේ බලය වැඩි කර ගැනීමට සහ විරුද්ධ බලවේග පාලනය කිරීම සඳහාය. 

හංගේරියාවේ අගමැතිවරයාට ලැබුණ අසීමිත බලය

ඊට කදිම උදාහරණය යුරෝපා සංගමයට අයත් හංගේරියාවයි. කොරෝනා වසංගතයත් සමඟ හංගේරියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව හංගේරියා අගමැතිවරයා අසීමිත බලයක් ආරූඨ කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  ඒ බලය ඔහුට අවශ්‍ය දිනක් වෙනතුරු තබාගැනීමේ නීතිමය පසුබිමක්ද සැකසී තිබේ. එම තත්ත්වය විදෙස් මාධ්‍ය වාර්තා කළේ "හංගේරියාව තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවේ", “හංගේරියාව ප්‍රජාතන්ත්‍රවාදය මරයි” වැනි සිරස්තල යොදමිනි.

පවතින වාතාවරණය යටතේ උද්ඝෝෂණයක් හෝ පැවැත්විය නොහැකි තත්ත්වයක් ඇති බවත් මේ අවස්ථාවේ බොහෝ ජනතාව අවධානය යොමුකරන්නේ මෙම අසීමිත බලය දෙස නොව   කොරෝනා වසංගතය දෙස බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කොරෝනා වසංගතයත් සමඟ ඇතිවූ හදිසි තත්ත්වය මැද්දේ  හංගේරියාවේ අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන්ගේ ආණ්ඩුව විසින් වසංගතයට සම්බන්ධ නොවන නීති කිහිපයක්ද සම්මත කරන ලදී. ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි ලෙස විරුද්ධ නීතිද ඒ අතර විය. එනම් සංක්‍රාන්ති ලිංගික පුරවැසියන් නීත්‍යානුකූලව පිළිගැනීම තහනම් කරමින් හංගේරියානු නීති සම්පාදකයින් නීතියක් සකස් කර තිබේ.

මෙම පනත මගින් උප්පැන්න සහතික වැනි නිල ලේඛනවල ස්ත්‍රී පුරුෂභාවය “උපතේ දී තිබූ ස්ත්‍රී පුරුෂ භාවය” පමණක් භාවිත කළ හැකි වන සේ නීතිය වෙනස් වෙයි. එය අර්ථ දැක්වෙන්නේ “ප්‍රාථමික ලිංගික ලක්ෂණ සහ වර්ණදේහ මගින් තීරණය වන ජීව විද්‍යාත්මක ලිංගිකත්වය” ලෙසිනි. පසුව ස්ත්‍රී පුරුෂ කාණ්ඩය වෙනස් කළ නොහැක.

මීට අමතරව චීනය මූල්‍යාධාර සපයන  දුම්රිය ව්‍යාපෘතියක් පිළිබඳ තොරතුරු රහස්‍ය තොරතුරු බවට පත් කිරීමට ද හංගේරියා රජය මෙම හදිසි අවස්ථාව භාවිත කළේය.

 

අසර්බයිජානියානු රජයේ විපක්ෂ මර්දනය

කෝවිඩ් -19 පැතිරීම මැඩපැවැත්වීමට අසර්බයිජානියානු බලධාරීන් විසින් පනවා ඇති සීමාවන් භාවිත කරමින් රජය විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සහ රජය විවේචනය කරන පිරිස් නිහඬ කිරීම කරන බව හියුමන් රයිට්ස් වොච් ආයතනය කියයි.

 

එරට බලධාරීහු විපක්ෂ ක්‍රියාකාරීන්,විපක්ෂ දේශපාලනඳයින් සහ විරුද්ධ මත දරන මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම් සහ රඳවාගැනීම් රැසක් සිදු කළහ.

ලොක්ඩවුන් නීති කඩ කිරීම හෝ පොලිස් නියෝගවලට අකීකරු වීම වැනි ව්‍යාජ චෝදනා මත වෙනස් අදහස් (පාලකයන්ගේ මතට එරෙහිව) දරණ මාධ්‍යවේදියකු දින 10 ත් 30 ත් අතර කාලයක් රඳවා තබා ගැනීමට රජය තීන්දු කළේය.

අත්අඩංගුවට ගත් සියල්ලන්ම පාහේ රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල තත්ත්වය හෝ වසංගතයේ ප්‍රතිවිපාකවලින් මූල්‍යමය වශයෙන් අරගල කරන ජනතාවට ප්‍රමාණවත් වන්දි ලබා දීමට රජය අපොහොසත් වීම විවේචනය කර තිබිණි.

 

“මෙම අත්අඩංගුවට ගැනීම් අසර්බයිජානයේ දීර්ඝ කාලීන දේශපාලන පළිගැනීමේ රටාවක උදාහරණයක්” යැයි හියුමන් රයිට්ස් වොච් හි යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ අධ්‍යක්ෂ ජෝර්ජි ගොගියා පැවසීය. නීත්‍යානුකූල ප්‍රකාශවලට එරෙහිව ද දඬුවම් පැනවීම සඳහා බලධාරීන් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් භාවිතා කිරීම නතර කළ යුතු බවද ඔහු කීවේය.

විපක්ෂ Azerbaijan Popular Front Party (APFP) සාමාජික අනාර් මෙලිකොව්, නිරෝධායන මධ්‍යස්ථානවල දුර්වල පරිපාලනය හා අපිරිසිදු තත්වයන් විවේචනය කරමින් සමාජ මාධ්‍යවල ලිපි පළ කළැයි අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිසිය මෙලිකොව්ගේ ෆේස්බුක් පෝස්ට් ගැන වැඩි වශයෙන් ප්‍රශ්න කළ අතර වෛරසය පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවට ඔහුට චෝදනා ගොනු කළේය. අධිකරණය ඔහුට දින 10ක සිර දඬුවමක් නියම කළේය.

ලොක්ඩවුන් නිසා අවදානමට ලක්විය හැකි පවුල්වලට ආධාර කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි අසර්බයිජාන් විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සුභසාධන ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන ෂකීර් මම්මඩොව්ට එම විවේචනාත්මක ෆේස්බුක් සටහන මකා දමන ලෙස බල කර සිටි බවත් පසුව අත්අඩංගුවට ගෙන ඇති බවත් හියුමන් රයිට්ස් වොච් පවසයි.

මම්මඩොව්ගේ නීතිඥවරයා හියුමන් රයිට්ස් වොච් වෙත පවසා ඇත්තේ කෙටි පණිවුඩයක් මගින් නිල අවසරය ලබා ගැනීමෙන් පසු තම සේවාදායකයා ඖෂධ සාප්පුවකට යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිස් නිලධාරීන් කියා සිටියේ ඔහු නුසුදුසු කතා විලාශයක් භාවිතා කළ බවත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කෙරෙහි ආක්‍රමණශීලීව ක්‍රියාකළ බවත්ය. අධිකරණය ඔහුට දින 15 ක සිර දඬුවමක් නියම කර තිබිණි.

Azerbaijan Popular Front Party (APFP)  සාමාජික ෆේග් අමීර්ලි කුණු බෑගයක් නිවසින් මීටර් 100 ක් පමණ කුණු බඳුනකට දැමීමට යන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ගෙන රඳවා තබා ගනු ලැබීය.

අමීර්ලිගේ බිරිඳ හියුමන් රයිට්ස් වොච් වෙත පැවසුවේ සිවිල් ඇඳුමින් සැරසුණු මිනිසෙකු අමීර්ලිව අල්ලාගෙන ඔහු පිටුපස පැමිණි කාර් තුනෙන් එකකට දමාගත් බවයි.

පොලිසිය අමීර්ලිගේ දුරකථනය රාජසන්තක කර ඇති අතර ඔහුගේ බිරිඳට හෝ නීතිඥයෙකුට ඇමතීමට ඉඩ ලබා දී නැත. පසුව අධිකරණයට ඉදිරිපත් කළ ඔහුට දින 30 ක සිර දඬුවමක් නියම විය.

තවත් APFP සාමාජිකයෙකු වන නිජාත් අබ්දුල්ලායෙව් සුපිරි වෙළඳසැලකට යමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගේ නීතිඥවරයා හියුමන් රයිට්ස් වොච් වෙත පවසා තිබුණේ අබ්දුල්ලායෙව්ට නිවසින් පිටවීමට කෙටි පණිවුඩ හරහා අවසර ලබාදී තිබුණු බවත් එය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය එම චෝදනාව නිෂ්ප්‍රභ කළ නමුත් අත්අඩංගුවට ගැනීමට විරුද්ධ වීමේ චෝදනාව මත දින 30 ක සිර දඬුවමක් ලබා දුන් බවත්ය.

ඉරානයේ තහනම

කොරෝනාවලට මුවාවී ප්‍රජාතන්ත්‍රවාදයට හානිවන ආකාරයේ තීන්දු තීරණ ගත් රටවල් අතරට ඉරානයද එක්වෙයි.  වසංගතය පැතිරීම අවම කිරීමට යැයි කියමින් ඉරානයේ 'කොරෝනා වෛරස මැඩපැවැත්වීම සඳහා වන කාර්ය සාධක බලකාය' විසින් සියලුම පුවත්පත් මුද්‍රණය සහ බෙදා හැරීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලදී.

තහනම ඉවත් කරන්නේ කවදාදැයි නියෝගයෙන් දක්වා නැති බව ඉරානයේ මාධ්‍යවේදීහු කියති.

“ඉරාන බලධාරීන් COVID-19 වෛරසය පැතිරීම මැඩපැවැත්විය යුතුයි. නමුත් ප්‍රවෘත්ති හා තොරතුරු  බාධාවක් නොමැතිව ගලා යාමත් වැදගත් අංගයක් බව ඔවුන් හඳුනාගත යුතුයි” යනුවෙන් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වන මධ්‍යස්ථානය (සීපීජේ) හි මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ වැඩසටහන් සම්බන්ධීකාරක ෂෙරිෆ් මන්සූර් පැවසීය.

“ඉරානයේ මුද්‍රිත මාධ්‍යවලට අන්තර්ජාලය හරහා සහ සමාජ මාධ්‍යවල සිය වැඩ කටයුතු කරගෙන යා හැකිය” යනුවෙන් එම නියෝගයේ සඳහන් වේ. කෙසේ වෙතත්, සීපීජේ ප්‍රධාන ජාතික පුවත්පත් වෙබ් අඩවි සම්බන්ධයෙන් කළ විමසුමකදී හෙළි වී ඇත්තේ සම්පූර්ණ ඩිජිටල් සංස්කරණයක් ප්‍රකාශයට පත් කරන එකම පුවත්පත ඉරානයේ ජනාධිපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ ඇති පුවත්පතක් බවයි.

ඉරානයේ ටෙහෙරාන් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධානී අබ්බාස් අබ්ඩි ප්‍රකාශ කළේ මෙම තීරණය රටේ මාධ්‍ය ක්ෂෙත්‍රයට කළ හානියක්  බවයි. 

CPJ අනුව යේමනයේ, ඕමානයේ සහ මොරොක්කෝවේ බලධාරීන් ද පුවත්පත් මුද්‍රණය හා බෙදා හැරීම සම්බන්ධයෙන් මෙවැනිම තහනමක් පනවා තිබිණි.

බ්‍රසීල පරිසර ඇමතිගේ කතාව

 

බ්‍රසීලයේ පරිසර ඇමැති කළ ප්‍රකාශයක් ද පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන්නේය. 

""දැන් මාධ්‍ය කතා කරන්නේ කෝවිඩ් 19 ගැන පමණක් බැවින්, පරිසර ප්‍රතිපත්ති සම්බන්ධ සියලු නීති වෙනස් කිරීමට අපි මේ සන්සුන් මොහොත භාවිතා කළ යුතුයි" යැයි බ්‍රසිල පරිසර අමාත්‍ය රිකාඩෝ සාලේස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

බ්‍රසීල අමාත්‍යවරුන්ගේ වීඩියෝ සාකච්ඡාවකදී ඔහු මේ බව කියා තිබිණි.

එම සාකච්ඡාව අතරතුර, සාලෙස් ඇතුළු අනෙකුත් ඇමතිවරුන් පරිසර කණ්ඩායම් සමඟ කතා කරමින් කළ ප්‍රකාශවලින් පැහැදිලි වී ඇත්තේ බොල්සොනාරෝ රජය ක්‍රමානුකූලව පාරිසරික ආරක්ෂණය විනාශ කිරීමට උත්සාහ කරන බවයි.

2019 වසර හා සසඳන විට එරට වන විනාශය පසුගිය වසරේදී 55% කින් ඉහළ ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් පරිසරවේදීහු එරට ජනපති ජේර් බොල්සොනාරෝගේ ප්‍රතිපත්තිවලට දොස් පවරති.

මිනිසුන් දුප්පත්කමින් මුදවා ගැනීම අත්‍යවශ්‍ය බව පවසමින් බොල්සොනාරෝ ඇමසන් වනය ආශ්‍රිතව සංවර්ධනය ව්‍යාපෘතියක් කිරීම සඳහා ඉල්ලා තිබේ. තමා එය කිරීමට සූදානම් වූයේ දුප්පතුන් වෙනුවෙන් බවත් ජනමාධ්‍ය විසින් අසාධාරණ ලෙස තමාව යක්ෂයෙක් බවට පත්කර ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි.

යෝජිත පාරිසරික රීති වෙනස්වීම් වලට ඇති නීතිමය අභියෝග පිළිබඳව මෙම වීඩියෝ පටයේ සාලෙස් මැසිවිලි නැගූ අතර, පරිසර ආශ්‍රිත වෙනස්කම්වලදී ආරක්ෂා වීමට  රජයට නීතිමය ආයුධයක් අවශ්‍ය බවත් කොන්ග්‍රසය මඟ හැරිය යුතු බවත් ප්‍රකාශ කළේය.

"අපට කොන්ග්‍රසය අවශ්‍ය නෑ. මොකද කොන්ග්‍රසයට අවශ්‍ය දේවල්, කොංග්‍රසයේ අවුල් සහගත තත්ත්වයත් සමඟ අපි ඉල්ලන දේ සම්මත වෙන එකක් නෑ"යැයි ඔහු පැවසීය.

Green peace බ්‍රසීල් ප්‍රකාශක ලුයිසා ලීමා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “රෝහල්වල සිටින පුද්ගලයින් මියයෑම ඔහුගේ පාරිසරික විරෝධී ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට හොඳ අවස්ථාවක් බව සාලෙස් විශ්වාස කරන බවක් පෙනෙන්න⁣ට තියෙනවා” යනුවෙනි.

 

 

Share