ශ්‍රී ලංකාවේ දිනකට 56ක් : ලෝකයේ 22000ක් මිය යන දරුණු වසංගතය 

Staff Writer | Author . Translate to English or தமிழ் 6/12/2020 3:48:00 PM
ශ්‍රී ලංකාවේ දිනකට 56ක් : ලෝකයේ 22000ක් මිය යන දරුණු වසංගතය 

මේ වනවිට සියළුදෙනාගේ අවධානය යොමුව ඇත්තේ කෝවිඩි -19 වසංගතය සම්බන්ධයෙනි. ලෝකයේ දසතින් මේ වසංගතයට හසුවී මියයන පිරිස සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවන අතර මේ වන විට ලක්ෂ 04 ට වැඩි පිරිසක් මියගොස් තිබේ.

නමුත් සෑම වසරකට මිලියන 08 ට වැඩි පිරිසක් මිය යන වසංගතයක් සම්බන්ධයෙන් ඔබ අවධානය යොමුකර තිබෙනවාද?. ඔබ පමණක් නොව ලෝකයේ වැඩිදෙනාගේ අවධානය මේ වෙත යොමුව නැති නිසා මේ මිය යන පිරිස එයින් බේරාගැනීමට ඇති අවස්ථාව අහිමිවී ඇත.
වසරකට මිලියන 08 ක් මියයන වසංගතය වෙන කිසිවක් නොව දුම්පානයයි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෑතකදී ප්‍රකාශ කල ආකාරයට දුම්බොන්නන් හට  කෝවිඩි-19 වැළදීමේ අවධානමද වැඩිවී තිබේ.

මේ හේතුවෙන් දුම්පානයෙන් ඉවත්වීමට ක්ෂණික පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක ජනතාවගෙන් පසුගියදා ඉල්ලීමක්ද කළේය.

මිලියන 08 ක් මියයන හැටි 

දුම්පානය හේතුවෙන් සිදුවන  මරණ අතරින් මිලියන 07 වැඩි පිරිසක් සෘජුලෙස දුම්පානයට සම්බන්ධ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.ඊට අමතරව දුම්පානය නොකළද දුම්පානය කරනන් අසල සිටීම හේතුවෙන් (දෙවැනිවරට දුමාරයට නිරාවරණය වීමෙන්) මිලියන 1.2 ට වැඩි පිරිසක් මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

ඒ අනුව දුම් පානය නිසා විනාඩියට ලෝකයේ 15 දෙනෙක් මිය යති.

ලංකාවේ දිනකට 56 ක්

ශ්‍රීලංකාව තුළ ආසන්න වශයෙන් දිනකට පුද්ගලයින් 1 660 900 ක්   දුම්පානය කරන බවත් මේ හේතුවෙන් වසරකට 20 000 ක් මියයන බවද මේවනවිට අනාවරණය කර ගෙන ඇත.  එනම් දුම්පානය නිසා ලංකාවේ දිනකය මියයන ප්‍රමාණය 56 කි.   ශ්‍රීලංකාවේ වසය අවුරුදු 15 ට වැඩි පිරිමින්ගේන් 28.4%ක් දුම්පානය කරන බව හදුනාගෙන තිබෙන අතර  ශ්‍රී ලංකාවේ තරැණ ප්‍රජාව අතර වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා බවද මේවනවිටද කරැණු අනාවරණය කරගෙන තිබේ. 

මේ අනුව ශ්‍රී ලංකාවේ පැයකට අවම වශයෙන් දෙදෙනකුට තම ජීවිත අහිමි වෙන බව පෙනී යයි.

ශ්වසන ආබාධ සහ දුම්පානය 

බොහෝ ශ්වසන ආබාධ සඳහා දුම්පානය ප්‍රාධන සාධකයක් බව හොදින් හදුනාගෙන ඇති කරැණක් වන අතර  එය ශ්වසන රෝගවල බරපතලකම වැඩිකිරීමටද හේතුවන බවද හදුනාගෙන තිබේ.

දුම්පානය නොකරන පුද්ගලයින්ට සාපෙක්ෂව දුම්පානය කරන පුද්ගලයින්ට කෝවිඩි-19 සමග දරැණු රෝග ඇතිවීමේ හැකියාව බෙහෙවින් වැඩිබවත් , ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ඉල්ලීම මත ප්‍රාජා සෞඛ්‍ය විශේෂඥයින් විසින් පසුගිය මාසය තුළ සිදුකළ අධ්‍යනයකදී හෙලිවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදේ.
කෝවිඩි-19 වසංගත රෝගයක් වන අතර එය මුලිකව පෙනහළු වල ක්‍රියාකාරීත්වයට බාධා ඇතිකරයි. දුම්පානය හේතුවෙන් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩාල වන අතර මේ හේතුවෙන් වෛරස හෝ අනිකුත් රෝග සඳහා ප්‍රතික්‍රියා දැක්වීම අපහසුවේ.

හෘද රෝග , පිළිකා , ශ්වසන රෝග දියවැඩියාව ආදී බෝනොවන රෝග වැළදීම සඳහා ප්‍රධාන සාධයකයක් ලෙස දුම්පානය හදුනාගෙන ඇති අතර මෙම රෝග වැළදී ඇති පුද්ගලයින්ට කෝවිඩි-19 වැළදුනහොත් දරැණු රෝගාබාධ ඇතිවිය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

සරල උදාහරණයක් 

දර ලිපක් අසල එයට මුහුණ ළංකරගෙන ඉඳ ඇතිනම්  එහි ඇති අපහසුව ඔබට  දැනී තිබේද? . දුම්බීමත් එයට සමාන කාරණයකි. මීට වඩා වැඩි උදාහරණ දුම්බීම ගැන අවශ්‍ය නොවේ. දුම්බීම පිළිබඳ එම සරල උදාහරණයකින් දුම් බොන නොබන සියළුදෙනාට එය තේරැම් යනු ඇත.
 
දුම්වැටි කියන්නේ මොනවාද? 

දුම්වැටියෙ අන්තර්ගතය අනුව සිදුවන හානියෙහි විශාල වෙනසක් සිදු නොවේ. උදාහරණයක් ලෙස ගංජා සුරුට්ටුව ද දුම් වැටියකි. සිගරට්, බීඩි වැනි දුම්කොළ අන්තර්ගත දුම්වැටිවලින් සිදුකරන හානියම ඒ මගිනුත් සිදුකරයි. මේ සියල්ලම දුම්වැටි. දුම්වැටි කියන්නේ දැවෙන කාබනික ද්‍රව්‍යය වන අතර  ඕනෑම කාබනික ද්‍රව්‍යක් දැවෙන විට නිපදවන කාබන් ඩයොක්සයිඩ්,මොනොක්සයිඩ්, තාර වැනි අපද්‍රව්‍ය දුම්වැටි දහනයෙනුත් නිපද වේ . 

ඊට අමතරව දුම්වැටි නිපදවීමේදී ඊට එකතුවෙන රසායන ද්‍රව්‍යද, ඒ අන්තරගතයේ ඇති සිගරට් (බීඩිවල නම් නිකොටීන් ) වැනි හා ගංජාවල  ටීඑච්සි (THC ) වැනි රසායන ද්‍රව්‍යද නිපදවන දුමෙහි අඩංගුවේ. උදාහරණයක් ලෙස සිගරට් දුමෙහි ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය වර්ග 250ක් පමණ අඩංග වන බව සොයාගෙන ඇත.

මුලින්ම හානි කරන්නේ ශ්වසන පද්ධතියට

දුම් බොන්නන් මෙම රසායන ද්‍රව්‍ය ශරීරයට ඇතුළු කරගන්නේ ශරීරයේ පැවැත්මට අත්‍යාවශ්‍ය වූ අපි හුස්ම ගන්න (ඔක්සිජන් ලබාගැනීමට ඇති) ශ්වසන පද්ධතිය හරහා වීම අනෙකුත් වැදගත්ම කාරණය වේ. අප ශරීරය ශ්වසන පද්ධතිය හරහා ලබාගන්නා ඔක්සිජන් ඉතාමත් කාර්‍යක්ෂමව සිරුරේ සෑම සෛලයකටම බෙදාහැරීම සඳහා සැකසී තිබේ. ඒ නිසා දුම්වැටිවලින් ශරීරයට ඇතුළුවන විෂ රසායන ද්‍රව්‍යද ඒ යන මාර්ගයේ ඇති ශ්වසන නාල, පෙණහලු බිත්ති, හෘදය වස්තුව සහ රුධිර නාල සියල්ලෙහිම තාර සහ රසායන ද්‍රව්‍ය තැන්පත් වෙමින් ඒවාට හානිකරමින් ඉතාමත් කාර්‍යක්ෂමව සිරුරේ සෛල කෙරෙහි ප්‍රවාහනය වේ. 

ලෙඩ ගොඩකට මුල

දුම්බීම නිසා ඇදුම වැනි ශ්වසන පද්ධතියේ රෝගද, රුධිර නාල අවහිරවීම නිසා අධිරුධිර පීඩනය, හෘද රෝග, අංශභාගය, වකුගඩු රෝග, ඇඟිලි කුණුවීම සහ ලිංගික අප්‍රාණිකත්වයද ඇතිවිය හැකිය.  මීට අමතරව මදසරුබව සහ පිළිකා වර්ග බොහොමයක්ම වැළදීමේ අවදානම ඉහලය. දුම්පානයෙන් බහුලවම සෑදෙන්නෙ පෙණහලු ආශ්‍රිත හෝ මුඛ කුහරය හෝ උගුර, කණ, නාසය ආශ්‍රිත පිළිකාවන අතර ඒ මගින් ශරීරයේ ඕනෑම තැනක පිළිකාවක් ඇතිවිය හැකි බව පැහැදිලිය. 

මීට අමතරව තොල් කළුවීම, මුහුණ රැළි වැටීම, ඇස් බොරපාට වීම, වයසට වඩා මහළු පෙනුමක් ලැබීම, කොපමණ නෑවත් පහව නොයන ගඳ සහා දත් කහට බැඳීම සහා දිරායම වැනි කාරණාද දැකගත හැකිය. දුම්පානය කරන කෙනෙකුව පෙනුමෙන් අඳුරාගැනීමට හැකිවන්නේ මේ නිසාය .

අක්‍රීය දුම්පානය කියන්නේ මොකද්ද

අක්‍රීය දුම්පානය නිසා මිලියනයකට වැඩි පිරිසක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ. දුම්බොන පුද්ගලයන් අසල දුම්නොබන පුද්ගලයින් සිටියද ඔවුන්ටත් අනිවාර්යයෙන්ම බලපෑමක් ඇතිවේ. ඔවුන්ටද අක්‍රීය  දුම්පානයට නිරාවරණයවීම හේතුවෙන් ඉහත කියූ සියලුම රෝග සෑදීමේ අවදානමද ඇති බව පැහැදිලිය.   

ගර්භණී සමයේ අක්‍රීය දුම්පානයට නිරාවරණයවීම නිසා අඩුබර දරු උපත් සහ ආබාධිත දරු උපත් සිදුවිය හැකි අතර දුම්පානය කරන්නන්හට කොරෝනා ආසාදනය වීමේ , කොරෝනා වැළඳීමෙන් සංකූලතා ඇතිවීම මෙන්ම  කොරෝනා නිසා මියයාමේ අවදානම ද ඉතාමත් ඉහලය.

කරැණු කිහිපයක් හේතුවෙන් මෙය සිදුවේ. බාහිරින් ලැබෙන ආශ්වාස වාතය සමඟ ශ්වසන පද්ධතිය තුළට ඇතුළුවෙන විෂබීජ නැවැත්වීම සඳහා   ශරීරයේ ක්‍රමානූකූලව සැකසී තිබේ.  ශ්ලේස්මල තරලය විෂබීජවලට බාධකයක් ලෙස ක්‍රියාකරන අතර  ශ්වසන මාර්ගයේ ඇති කෙඳි වැනි ව්‍යුහ සංචරණය වීම මගින් විෂබීජ ඉහළට තල්ලු කර  කැස්ස මගින් ඒවා නැවත ශ්වසන මාර්ගයෙන් එළියට තල්ලු කරයි. 

කැස්ස ශ්වසන පද්ධතියේ ආරක්ෂාවට තිබෙන උපක්‍රමයක්. මේ සියළුම බාධාවලින් ගැළවී පෙණහලු තුළට රිංගා ගන්නා විෂබීජ සමඟ සටනට  ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ සුදු රුධිරාණු සැකසී තිබේ.  එමගින් විෂබීජවලට පහරදී ඒවා අඩපණ කිරීම හෝ විනාශකිරීම සිදුකරයි .

නමුත්  දුම්පානය කරන්නන්ගේ මෙම ආරක්ෂිත උපක්‍රම සියල්ලම අඩපණ වන අතර  සිගරට් දුම් මුලින්ම ආඝ්‍රාණය කරනවිට එන කැස්ස කල් යෑමේදී නැතිවීයන්නේ ඒ නිසාය.

සිගරට් දුමේ ඇති විෂ ද්‍රව්‍ය දුම්පානය කරන්නාගේ ආරක්ෂා පද්ධතියට පහරදී එය අඩපණ කර ඇත.  කොරෝනා වෛරසයට එරෙහිව ඔහුට ඇති ආරක්ෂාව දුම් නොබොන කෙනෙක්ට වඩා බෙහෙවින් දුර්වල වන්නේ මෙම කාරණා හේතුවෙනි. එබැවින් ඔහුට එය ආසාදනය වීමේ හැකියාව වැඩිය.

සංකුලතා ඇතිවීම

පෙර සඳහන් කළ පරිදිම දුම්බොන්නන්ගේ ශ්වසන පද්ධතිය බෙහෙවින් දුර්වලය. ඔවුන්ගේ පෙනහළුද අවදානම් මට්ටමක ඇත.  ඒ තුළට මෙවැනි දරුණු වෛරසයක් ඇතුළු වූ විට හුස්ම ගැනීමේ ආබාධ ඇතිවීම, ද්විතීයික බැක්ටීරියා සාදන නිව්මෝනියාව සෑදීම සහා ශ්වසන පද්ධතිය අකර්මණ්‍යවීමේ අවදානම ඉහල යයි.

මිය යාමේ අවදානම වැඩිවීම

දුම්පානයෙන් ශ්වසන පද්ධතිය අකර්මණ්‍ය වීම මෙන්ම වෙනත් කාරණා රාශියක් නිසාද මියයාම සිදුවීමට පුළුවන. කොරෝනාවලින් මිය යෑමේ වැඩි අවදානම ඇත්තේ වයස්ගත පුද්ගලයින්ට සහ නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට බව මේවනවිට ප්‍රසිද්ධ වී තිබේ. වයස්ගත පුද්ගලයින්ට වැඩි අවදානමක් ඇත්තේ ඔවුන්ගේ සිරුරු සහ ප්‍රතිශක්තීකරණ පද්ධති දුර්වල හේතුවෙන් වන අතර අධි රුධිරපීඩනය, හෘද රෝග, වකුගඩු රෝග, පිළිකා වැනි නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ටද කොරෝනාවලින් මිය යාමේ වැඩි අවදානමක් ඇත්තේ ඉහත හේතු නිසාමය.  

ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල දුම්පානය කරන්නන්ට නිදන්ගත රෝග තිබීම හෝ ඒ සඳහා අවදානම් තත්ත්ව තිබීම සුලභය. මේ සියලු කරුණු නිසා දුම්පානය කරන්නන් කොරෝනා නිසා මියයාමේ අවදානම වැඩිවී තිබේ. 

ඉවත්වීමෙන් ලැබෙන වාසි

දුම්පානයෙන් ඉවත්වීමෙන් ලැබෙන ක්ෂණික වාසි සහ දීර්ඝ කාලීන වාසි සම්බන්ධයෙන්ද ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිකිරීමක් කර තිබුණි.ඒ අනුව දුම්පානයෙන් ඉවත්වී මිනිත්තු 20 ක් තුළ හෘද ස්පන්දන වේගය සහ රැධිර පීඩනය පහත වැටෙන අතර පැය 12 ට පසු රැධිරයේ කාබන් මොනොක්සයිට් මට්ටම සාමාන්‍ය මට්ටමට පත්වේ.

දුම්පානය නතර කර සති 02- 12 අතර  කාලය තුළ රැධිර සංසරණය වැඩිදියුණු වන අතර පෙනහළු ක්‍රියාකාරීත්වට වැඩිදියුණු වන බවත් මාස 01-09 අතර කාලයේදී කැස්ස ඇතිවීම සහ හුස්ම හිරවීම නතර වේ.  එබැවින් ඉතා ඉක්මණීන් දුම්පානයෙන් ඉවත්වන ලෙස එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 


 
තවදුරටත් දුම් බිව්වොත්

කෝවිඩි-19 වසංගතය හමුවේ මේවනවිට මුළුලෝකයම ආර්ථික වශයෙන් පහලට ගොස් තිබෙනවා. මේ වනවිට ලංකාවේ ආර්ථිකය කඩා වැටී තිබෙනවා වගේම සමහර පුද්ගලයින්ට රැකියාව සම්බන්ධ ගැටළුද ඇතිවී තිබේ.

මේ නිසාම ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමුකරන විට  ශ්‍රි ලංකා රැපියලේ අගය පහල යමින් තිබෙනවා වගේම තවදුරටත් අපේ මිනිසුන් දුම් බොන්න පුරැදුවුනොත් බිලියන ගාණක් අපේ රටේ සල්ලි පිටරටවලට ඇදී යන බව අපි මතක තබා ගත යුතු වේ.

ඒ ආකාරයට සිදු වුවහොත් රුපියල තවදුරටත් බාල්දු වේ.එමෙන්ම ඉදිරියට ආර්ථික අවපාතයක් ඇතිවිය හැකි බව ආර්ථික සහ මුල්‍ය  අංශයේ විද්වතුන් මේවනවිටත් පෙන්වාදී තිබේ. දුම්පානයට මුදල් වැයකරමින් දුම්පානයෙන් රෝගී වන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට තවත් මුදල් කන්දරාවක් වැයකිරීමට සිදු වුවහොත්  එය මේ අවස්ථාවේද රටට තවත් විශාල බරක් වන බව පැහැදිලිය. එමෙන්ම එය දුම්පානය කරන්නන්ගේ නිවෙස්වලටත් දැඩිලෙස බලපෑම් ඇති කරයි. මේනිසා දුම්නොබී සිටිම ඔබට, අපිට සහ රටට වගේම ශරීරයට ද යහපත් කාරණයකි. 

උපදෙස් - ප්‍රජා වෛද්‍ය විශේෂඥ  හා කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහජන සෞඛ්‍ය පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්ය , දුම්කොළ කර්මාන්ත අධ්‍යනය කේන්ද්‍රයේ 'ටොබැකෝ අන්මාස්කඩ්' හි සංස්කාරක වෛද්‍ය මනුජා පෙරේරා

Share