පොලිසිය හරි : දැරිය උස්සා විසිකිරීම ගැනත් පරීක්ෂණයක් නෑ - පොලිස් ප්‍රකාශක

Staff Writer | Author . Translate to English or தமிழ் 6/11/2020 3:23:00 PM
පොලිසිය හරි : දැරිය උස්සා විසිකිරීම ගැනත් පරීක්ෂණයක් නෑ - පොලිස් ප්‍රකාශක

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹ සිදු කළ උද්ඝෝෂණයට පහර දීම සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් සිදු නොකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ නීතීඥ ජාලිය සේනාරත්න මහතා පැවසීය.

පොලිසිය වරදක් සිදු කර නැති බවත්, ඔවුන් අධිකරණ නියෝග නොතකමින් කටයුතු කළ බවත් සේනාරත්න මහතා කීවේය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාශ කළේ MediaLK.com කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

ප්‍රශ්නය - මීටරේ දුරින් සිටිමින් සමාජ දුරස්ථභාවය සහ නිරෝධායන රීති රැකගෙන කරපු විරෝධතාවට පොලිසිය කඩා වැදිලා නිරෝධායන රීති කඩකළ බවට ඔවුන් චෝදනා කරනවා.?

පොලිස් ප්‍රකාශක - උසාවි නියෝගයක් දුන්නම ඒක කරන්න එපා කියලා මීටරේ දුරින් හිටියත් ඒක වැරදි. 

ප්‍රශ්නය - උසාවි නියෝගයේ තියෙන්නේ තානාපති කාර්යාලය අවට කියලා නේද? පුරහල ප්‍රදේශය ඒ්කට අයිති වෙන්නේ නෑ නේද?

පොලිස් ප්‍රකාශක - එම්බසිය අවට කිව්වම ටවුන්හෝල් අයිති වෙන්නේ නෑ කියන්න බෑනේ.ඒකේ සීමාවක් ගන්න බෑනේ.පළවෙනි කාරණය ඒ්ක.එක්කෙනකුට කියන්න පුළුවන් කිලෝමීටරයක් කියලා තව කෙනෙකුට කියන්න පුළුවන් ඊට වඩා දුරක් කියලා.අවට කියන්නේ ඒක නෙමෙයි.ඒ අධිකරණ නියෝගය නිකුත් කරන්න හේතු වුණ කාරණය ඉෂ්ඨ වෙන විදියට තමයි අධිකරණ නියෝගය අර්ථ නිරූපනය කරන්නේ.එතකොට අධිකරණ නියෝගයේ අරමුණ තමයි කොරෝනා ව්‍යාප්තියට තියෙන අවදානම වැඩි කිරීම වැළැක්වීම ඒක එම්බසිය අවටද නැත්නම් වෙනත් තැනකද කියන කාරණය නෙමෙයි.ඒ අධිකරණ බල ප්‍රදේශය තුළ කොරෝනා පැතිරීම අවදානම වැඩිවන ආකාරයට කටයුතු කළ නිසයි අත්අඩංගුවට ගත්තේ.

ප්‍රශ්නය - මැතිවරණ කොමිසමේ රත්නජීවන් හූල් මහතාට එරෙහිව මැතිවරණ කොමිසම ඉදිරිපිට තිබ්බ උද්ඝෝෂණයට හෝ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් පැවති උද්ඝෝෂණයට අධිකරණ නියෝග අරන් තිබ්බේ නැහැ නේද?

පොලිස් ප්‍රකාශක - හූල් මහතාට එරෙහිව උද්ඝෝෂණයක් තිබ්බ කිව්ව‌ට එතන හත් දෙනෙක් ද කොහෙද තමා හිටියේ.එහෙම උද්ඝෝෂණයක් තියෙනවා කියලා අපට වාර්තා වෙලා තිබ්බේ නෑ. කට්ටිය ගොඩක් ගෙන්වනවා කියල අපට වාර්තා වෙලා තිබ්බේ නෑ. ඒකේ රෝග පැතිරීම ගැන අවදානමක් නෑ හැබැයි පෙරේදා තිබ්බ එකේ රෝග පැතිරීම පිළිබදව හෝ පොලිස් නිලධාරින්ට එතන රෝගය තියෙන කෙනෙක් හිටියනම් ඒ අවට බොවෙන්න තියෙන අවස්ථාව වැඩී. පොලිසියේ අය නිරෝධායනය වෙලත් තියෙනවානේ දැන්.ඒවා පිළිබද තැකීමක් නෑ. එයාලා පොලිසියට ඇගිල්ල දික් කරන්න කලින් අධිකරණය නියෝගයක් තියෙනවා කියල දැනගත්තම නෑවිත් ඉන්න ඕන. 

ප්‍රශ්නය - නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමත් කියලා තිබ්බා පොලිසිය වැරදියි. පොලිසිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අවශ්‍යයි කියලා ඔහු කියලා තිබුණා.පොලිසියේ හැසිරීම සහ පොලිසියේ පහරදීම ගැන විමර්ශනයක් කරනවාද? 

පොලිස් ප්‍රකාශක - නෑ නෑ පොලිසිය පහරදීමක් කරලා නෑ. පොලිසිය අත්අඩංගුවට ගන්න යනකොට රටේ පුරවැසියකුගේ නෛතික යුතුකමත් තියෙනවා පොලිසිය අත්අඩංගුවට ගන්න යනවා කිව්වම ඒකට අවනත වෙන්න. අධිකරණ ක්‍රියාමාර්ගයක කොටසක් හැටියටනේ අත්අඩංගුවට ගන්නේ. ඒකට විරුද්ධව යනවානම් ඒ අයට අධිකරණයේදී අභියෝගයට ලක් කරන්න පුළුවන්. අසාධාරණයක් වෙලා තියෙනවනම් අභියාචනාධිකරණයේදී අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න අත්අඩංගුවට ගන්න යන පොලිස් නිලධාරීන් එක්ක රණ්ඩු වෙන්න ගහගන්න හරි බාධා කරගන්න හරි බෑ. එහෙම කවුරු හරි කරොත් එයාට විරුද්ධව අවශ්‍ය සාධාරණ බලය පාවිච්චි කරන්න පුළුවන් පොලිසියට.ඒ බලය සීමා කරලා නෑ.

ප්‍රශ්නය - ගැහැණු ළමයෙක් ඔසවා ජීප් එකට විසි කරපු එක ගැනවත් පරීක්ෂණයක් කරන්නේ නැද්ද? 

පොලිස් ප්‍රකාශක - නෑ නෑ.මෙහෙමයි ඒ අවස්ථාවෙදි කරන්න වෙන දේ ඒක.ඒ ගැණු ළමයා විසි කරද්දි පයින් ගහපු එක කවුරුත් දැක්කේ නැද්ද දන්නේ නෑ.විසි කරන්න කළින් පොලිසියත් එක්ක රණ්ඩු වුණ සහ පොලිසියට බාධා කරපු එක කවුරුත් දැකලා නෑ. ඒකයි ගැටළුව තියෙන්නේ.හැබැයි එතන හිටිය පොලිසිය හැමදේම දැකලා තියෙනවා.මහජනතාව දකින්නේ මාධ්‍යවලින් පෙන්නන දේනේ.නමුත් මාධ්‍ය පෙන්නන් නැති ඊට කලින් වුණ දේවලුත් එතන හිටිය පොලිසියේ නිලධාරීන් දැකලා තියෙනවා. ඒ දේවල් අනුව එයා අවනත වුණානම් එහෙම කරන්න අවශ්‍ය නෑ . අවනත වීමට නෛතිකව තියෙන වගකීම පැහැර හරිනකොට එයාට විරුද්ධව බලය පාවිච්ච කරනවා. ඒක ඒ වෙලාවෙදි වාහනේට නගිනවනම් හරි අවනත වෙනවනම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.බොහෝම ගෞරවාන්විතව ගිහින් වාහනයේ වාඩි කරනවා. ඒක එයා උපයා ගත්තු තත්ත්වයක්.

 

Share