ඇඳිරිනීතිය නීතියට අනුව පනවන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නි⁣ර්දේශ  

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 6/11/2020 2:14:00 PM
ඇඳිරිනීතිය නීතියට අනුව පනවන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නි⁣ර්දේශ  

ඇඳිරිනීතිය පැනවිය යුත්තේ නීත්‍යානුකූලව බවත් නිරෝධායන පනත යටතේ ඇඳිරිනීතිය රටටම පැනවිය නොහැකි බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම නිර්දේශ නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයාට,ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට දන්වා තිබේ.

ඇඳිරි නීතිය පැනවීම සහ රෝගී ප්‍රදේශවලට ගමන් කිරීම සීමා කිරීම වැනි සීමා කිරීම් මෙම වසංගතය පාලනයට තීරණාත්මක අවශ්‍යතාවයක් බව කොමිසම  අවධාරණය කරන අතරම එවැනි සීමාවන් නීතියේ ආධිපත්‍යය උල්ලංඝණය නොවන ආකාරයෙන් පැනවිය යුතු බව ද සඳහන් කරයි.

එම සීමාවන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් යන දෙකටම අනුව නීත්‍යානුකූල වන්නේ නීතිය අනුව පනවා තිබේනම් පමණක් බවද එම කොමිසම පෙන්වා දෙයි.

ඇඳිරිනීතිය ක්‍රම දෙකකට පැනවිය හැකි බව එම කොමිසම සඳහන් කරයි.

1.මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයකින් ඇඳිරිනීතිය පනවනු ලැබීම

වසංගතයකදී තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙය වඩාත් ශක්තිමත් ක්‍රමය බවත් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ හැකි වඩාත් බලයලත් ආකාරය මෙය බවත් එම නිර්දේශවල සඳහන් වෙයි.

මේ යටතේ ඇති බලතල භාවිත කිරීමට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවන බව ද එම කොමිසම සඳහන් කරයි.
 
2.නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥා පනත අනුව ඇමතිවරයා විසින් පනවනු ලබන රෙගුලාසි යටතේ 

ඒ යටතේ අමාත්‍යවරයා විසින් නම් කරන ලද නිසි බලධාරියා මගින් සංචරණය සීමා කළ හැක්කේ 'රෝගී ප්‍රදේශ’ මත පමණක් බව කොමිසම නිරීක්ෂණය කරයි.පූර්වාරක්ෂක පියවරක් ලෙස රට පුරා ඇඳිරි නීතිය පැනවීමට තරම් එම බලධාරියාට පුළුල් බලයක් නොමැති බවද එම කොමිසම පෙන්වා දෙයි.

ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීමේදී සහ අනෙකුත් සියලුම ආකාරයේ සංචරණයන් සීමා කිරීමේදී විනිවිදභාවයක් තිබීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන කොමිසම ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම විධිමත් ලෙස කළ යුතු අතර ඒවා ප්‍රසිද්ධියට පත්කර තිබිය යුතු බවද පවසයි.

දැනට ජනාධිපති මාධ්‍ය අංශය ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු කරන බවත් පොලිසිය නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ දැනට ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇති බවට කොමිසමට වැටහී ඇතත්, එම ප්‍රකාශයන් ප්‍රසිද්ධියට පත් කර නැති බවත් එම කොමිසම පෙන්වා දෙයි.

කොවිඩ්-19 වසංගතයට අදාළව නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැනිව කටයුතු කිරීම සඳහා සහ මහජන සෞඛ්‍යයට අහිතකර වන ආකාරයෙන් කටයුතු කිරීමට මෙම නිර්දේශ කිසිවක් භාවිත නොකළ යුතු බව ද කොමිසම කියයි.

Share