මැතිවරණ දිනය ගැන තීරණයක් ගන්න කොමිසමට අදත් බැරිවෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 6/8/2020 7:25:00 PM
මැතිවරණ දිනය ගැන තීරණයක් ගන්න කොමිසමට අදත් බැරිවෙයි

එළඹෙන මහ මැතිවරණය සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම අද (08) යළිත් වරක් අසමත් වූ අතර ඒ වෙනුවට එය මේ සතිය තුළ ප්‍රකාශයට පත් කරන බවට ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (07) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ කොමිෂන් සභාවේ සාමාජිකයින් සමඟ පවත්වන රැස්වීමකින් අනතුරුව මැතිවරණ පැවැත්වෙන දිනය අද ප්‍රකාශයට පත් කරන බවයි.

මැතිවරණය පැවැත්වෙන දිනය මේ සතිය තුළදී ප්‍රකාශයට පත් කරන බව අද සවස කොමිෂන් සභාවේදි මාධ්‍ය හමුවක් පවත්වමින් දේශප්‍රිය මහතා කීවේය.

“අපි අනිවාර්යයෙන්ම මේ සතිය තුළ මැතිවරණ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරනවා" යැයි ඒ මහතා පැවසීය. 

කෙසේ වෙතත් අපේක්ෂකයින්ගේ මනාප අංක තවදුරටත් ප්‍රමාද නොකර හෙට (09) ගැසට් කරන බවට දේශප්‍රිය මහතා සහතික විය.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් විමසීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ ඇතුළු අදාළ පාර්ශ්වයන් ගණනාවක් සමග කොමිසම සාකච්ඡා කර ඇති බව සභාපතිවරයා අනාවරණය කළේය.

“ඇය අපට අවවාද කළේ පරිස්සම් සහගතව මැතිවරණය පවත්වන ලෙසයි.අපි මේ සතිය තුළ තවත් සෞඛ්‍ය වෘත්තිකයන් හමුවී ඔවුන්ගේ අදහස් හා විශේෂඥ දැනුම ලබා ගන්නවා. දේශපාලන පක්ෂ රැසක් අදහස් ප්‍රකාශ කිරීම සඳහා සාකච්ඡා ඉල්ලා සිටියා.අප මේ වන විටත් තීරණවලින් බහුතරයක් අරගෙන අවසන් වුණත් එම දේශපාලන පක්ෂ සමගත් මේ සතියේ සාකච්ඡා පවත්වනවා"යැයි ඒ මහතා පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ මැතිවරණය කිසිදු බාධාවකින් තොරව පැවැත්වීම සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසම අදාළ සංවිධාන හා වෘත්තීය ආයතන සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වන බවයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණය සඳහා නියම කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දේශපාලන පක්ෂවලට ලබාදීමට මැතිවරණ කොමිසම පියවර ගන්නා බව දේශප්‍රිය මහතා සඳහන් කළේය.  

මෙම රෙගුලාසි බලාත්මක කළ හැකි ආකාරයෙන් ගැසට් පත්‍රයක් මගින් නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහෙන් මහතාගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවසීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දේශප්‍රිය මහතා තවදුරටත් කියා සිටියේ මැතිවරණ පිරිවැය ඇස්තමේන්තුගත රුපියල්  බිලියන 9 ඉක්මවා යා හැකි බවයි.

මැතිවරණ කොමිසමට අනුව කොවිඩ් 19 වසංගතය නිසා සහ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා ගත යුතු පූර්වාරක්ෂාවන් හේතුවෙන් ඇස්තමේන්තුගත පිරිවැය දැන⁣ටමත් රුපියල් බිලියන 2කින් ඉහළ ගොස් ඇත.

 

Share