අලි-මිනිස් ගැටුුුුම්වලින් වැඩිම අලි සංඛ්‍යාවක් මිය යන රට ශ්‍රී ලංකාව

Staff Writer | Author . Translate to English or தமிழ் 6/6/2020 2:18:00 PM
අලි-මිනිස් ගැටුුුුම්වලින් වැඩිම අලි සංඛ්‍යාවක් මිය යන රට ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම් වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශ වලට පැතිරෙමින් පවතින බව නවතම විද්‍යාත්මක අධ්‍යනයකින් අනාවරණය වෙයි.

ලොව අලි - මිනිස් ගැටුම් නිසා වැඩිම අලි සංඛ්‍යාවක් මරණයට පත්වන රට ශ්‍රී ලංකාව බවත් අලි-මිනිස් ගැටුම් නිසා වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් වාර්ෂිකව මරණයට පත්වන ලොව දෙවැනි රට ශ්‍රී ලංකාව බවත් එම අධ්‍යනය මගින් වැඩි දුරටත් අනාවරණය වී ඇත.

2010 – 2019 කාලසීමාව තුළ මෙරට වාර්තා වූ අලි-මිනිස් ගැටුම් ආශ්‍රයෙන් සිදුකෙරුණු මෙම අධ්‍යයනයට අනුව දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක දහනමයක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක පමණ අලි - මිනිස් ගැටුම් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තුනෙන් එකකටත් වඩා ඉහළ අගයක් ගනී.

අධ්‍යනයට පදනම් වූ කාලසීමාව තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 112ක අලි - මිනිස් ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත 807 ක් රටට අහිමි වී ඇති අතර එම සංඛ්‍යාව වසරකට 81 ක් පමණ වේ. ඒම සංඛ්‍යාව 1992–2001 කාලසීමාව සමග සැසඳීමේදී 50%කින් වර්ධනය වී ඇති අතර 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී 14%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

මිය ගිය අයගෙන් වැඩි පිරිසක් පිරිමි අය වන අතර ඔවුන්ගෙන් බහුතරයක් අවරුදු 51 – 60 ත් අතර වයස් සීමාවේ පුද්ගලයෝ වෙති. මිය ගිය කාන්තාවන් අතරින් වැඩි පිරිසක් අවුරුදු 61 – 70 වයස් කාණ්ඩයේය.  

2010-2019 කාලසීමාව තුළ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක අලි ඇතුන් 2631 ක් මරණයට පත්වී ඇති අතර වසරකට සාමාන්‍යයෙන් 263 ක් පමණ මිය ගොස් තිබේ. වැඩි වශයෙන් මරණයට පත්ව ඇත්තේ පිරිමි අලින් ය. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ 1992–2001 කාලසීමාව සමග ඒම සංඛ්‍යාව සැසදීමේදී 92%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් 2005–2010 කාලසීමාව සමග සැසඳීමේදී 31%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් ය.

මීට අමතරව ගැටුම් හේතුවෙන් මිනිසුන්ට තුවාල සිදුවීම් 579 ක් වාර්තා වී ඇති අතර දේපළ හානි 10,532ක් වාර්තා වී ඇත. එමෙන්ම වසරේ සෑම මසකම පාහේ අලි - මිනිස් ගැටුම් වාර්තාවන බව පෙන්වාදෙන පර්යේෂකයින් පවසන්නේ මෙලෙස අලි-මිනිස් ගැටුම් වාර්තාවීමට අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු සිදුකිරීම,එම ප්‍රදේශවල බහුවාර්ෂික භෝග වගාව, නිවෙස් වල අස්වනු තැන්පත්කර තැබීම, අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශ වල අනාරක්ෂිතව හැසිරීම වැනි කරුණු හේතුවිය හැකි බවයි. 

2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් ලැබී ඇති ප්‍රතිපාදන යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් දත්ත සහ එම දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව නිකුත් කරන කාර්ය සාධන වාර්තා උපයෝගී කරගෙන මෙම අධ්‍යනය සිදුකර ඇත. එහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක පාදක කරගනිමින් අලි-මිනිස් ගැටුම් පිළිබඳව අධ්‍යනය කල ප්‍රථම අවස්ථාව මෙය වීමයි.

මින් පෙර ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් සම්බන්ධ අධ්‍යනයන් සියල්ලක්ම පාහේ සිදුකර ඇත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලන කලාප පදනම්කරගෙන වන නමුත් ඒවායේ ප්‍රමාණය කලින් කලට වෙනස්වීම සහ නව කලාප හඳුන්වාදීම නිසා වනජීවී කලාප පදනම් කරගෙන අලි - මිනිස් ගැටුම් වල ප්‍රවනතා අධ්‍යනය කිරීමෙන් නිවැරදි අවබෝධයක් ලබාගැනීම අපහසුය. එබැවින් කලින් කලට ප්‍රමාණාත්මකව සහ සංඛ්‍යාත්මකව වෙනස් නොවන ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක පදනම් කරගනිමින් කර ඇති මෙම අධ්‍යයනය මගින් අලි මිනිස් ගැටුමේ ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත හැකි බව පර්යේෂකයෝ පවසති. 

ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සහ සංරක්ෂණ පර්යේෂණ ආයතනය නියෝජනය කරමින් සුපුන් ළහිරු ප්‍රකාශ්, ආචාර්ය ඒ. ඩබ්ලිව්. විජේරත්න සහ ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු යන පර්යේෂකයින් මෙම අධ්‍යනය සිදුකර ඇත. ඒ පිළිබඳ සවිස්තර විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව ආසියානු අලි ඇතුන් පිළිබඳ ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන ආසියානු අලි පිළිබඳ විශේෂඥ කමිටුවේ ‘Gajah’ ජර්නලයේ නවතම කලාපයේ පසුගියදා පළ විය.

අලි මිනිස් ගැටුම් හේතුවෙන් වසරක් පාසා සිදුවන අලි-මිනිස් මරණ සංඛ්‍යාව, තුවාල සිදුවීම් සංඛ්‍යාව, දේපළ හානි සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවත් අලි-මිනිස් ගැටුම් එන්න එන්නම දරුණු අතට හැරෙමින් පවතින බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති. තවද ගැටුම් වාර්තාවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාවද වාර්ෂිකව වැඩිවීමක් පෙන්නුම් කරන අතර ඒ අනුව අලි - මිනිස් ගැටුම් වසරෙන් වසර නව ප්‍රදේශ කරා ව්‍යාප්ත වන බව පර්යේෂණයෙන් හෙළි වෙයි.මින් වැඩිම සිදුවීම් ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වන අතර පොළොන්නරුව, අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්ක ද ඒම සංඛ්‍යා අනුව  ඉදිරියෙන්ම පසුවන දිස්ත්‍රික්ක වේ. වැඩිම දේපළ හානි සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර පොළොන්නරුව, බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්ක දේපළ හානි වැඩි වශයෙන් වාර්තා වූ සෙසු දිස්ත්‍රික්ක වේ.

තවද මෙම පර්යේෂණය මගින් අනාවරණය වී ඇති විශේෂ කරුණක් වන්නේ මෙතෙක් දිවයිනේ වැඩිම අලි-මිනිස් ගැටුම් සංඛ්‍යාවක් වාර්තා වී තිබූ වයඹ පළාතේ ගැටුම් අඩුවෙමින් පවතින බව සහ මින් පෙර තරමක් අඩු වශයෙන් ගැටුම් වාර්තා වූ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ගැටුම් ඉහළ යමින් පවතින බවයි.සංරක්ෂණ පර්යේෂණ ආයතනය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය වසර ගණනාව පුරාවට වයඹ පළාතේ අලි - මිනිස් ගැටුම් අවම කර ගැනීම සඳහා ගම්මාන වටා ස්ථිර විදුලි වැට ඉදිකිරීමේ සහ කුඹුරු වටා තාවකාලික විදුලි වැටවල් ඉදිකිරීමේ ප්‍රජා සහභාගීත්ව ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබිණි.මෙසේ එම කලාපයේ අලි - මිනිස් ගැටුම් අඩුවීමට එම ව්‍යාපෘති හේතුවන්නට ඇති බව පර්යේෂකයින්ගේ අදහසයි. නමුත් ඒ වෙනුවට උතුරුමැද පළාතේ අලි ඇතුන් වනජීවී රක්ෂිත වලට ගාල් කරමින් විදුලි වැට ඉදිකිරීමත් පසුගිය යුද සමයේ වල් බිහිවී තිබූ නැගෙනහිර පළාතේ ගම්බිම් සහ කුඹුරු නැවත ජනාවාස වීමත් එම කලාපයේ ඉතිරිව තිබූ වනාන්තර සීග්‍රයෙන් විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමත් එම පළාත්වල අලි මිනිස් ගැටුම් ඉහළ යාමට හේතුවිය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙම පර්යේෂණය මගින් අනාවරණය වී ඇති තවත් කරුණක් වන්නේ අලි වෙඩි, වන්දි ගෙවීම්, වන අලි පරිස්ථාපනය, සහ වන අලි පලවාහැරීම යන ප්‍රධාන අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රම හතර සඳහා රජය මගින් වැයකළ මුදල 2010 – 2018 කාලසීමාව තුළ 110% කින් පමණ වර්ධනය වී ඇති බවයි.2010 වසරේදී මේ සඳහා රුපියල් මිලියන 92 ක් පමණ වැයකර ඇති අතර 2018 වන විට එම ප්‍රමාණය රුපියල් මිලියන 194 දක්වා ඉහළ ගොස් තිබේ.

අලි - මිනිස් ගැටුම් පාලනය කිරීමේ අරමුණින් දිවයින පුරා වාර්ෂිකව නව විදුලි වැට කිලෝමීටර් 267 ක් පමණ (පැරණි විදුලි වැට නවීකරණය සහ ප්‍රතිස්ථාපනය කිරීමට අමතරව) ඉදිකිරීමට මෙම කාලසීමාව තුළදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

මහා පරිමාණයේ වන අලි පලවාහැරීම් 10 ක් පමණ (දෙපාර්තමේන්තුව මගින් කුඩා අලි පලවාහැරීමේ මෙහෙයුම් සිය ගණනක් දිනපතා සිදුකරයි) වසරක් පාසා සිදුකර ඇත. නමුත් එවන් පසුබිමක අදාළ කාලසීමාව තුළ අලි - මිනිස් ගැටුම කිසිඳු අඩුවක් සිදුවී නොමැති බව මෙම අධ්‍යනය අනුව පෙනී යයි. ශ්‍රී ලංකාවේ ජීවත්වන අලි ඇතුන්ගෙන් සියයට හැත්තෑවක් පමණ ජීවත්වන්නේ වනජීවී රක්ෂිතවලින් පිටත  වන අතර එම සතුන් වනජීවී රක්ෂිත තුළට ගාල්කර අලි - මිනිස් ගැටුම් විසඳීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය වසර හැත්තෑවක පමණ කාලය තුළ නොගත් උත්සාහයක් නැත. 

එසේම ඔවුන් අලි - මිනිස් ගැටුම් පාලනය සඳහා යොදාගන්නා වනජීවී රක්ෂිත වටා විදුලි වැට ඉදිකිරීම, අලි පලවාහැරීම, මිනිස් ජීවිත හා දේපළවලට හානි සිදුකරන අලින් අල්ලා හොරොව්පතාන වැනි අලි රැඳවුම් මධ්‍යස්ථාන වෙත ගාල් කිරීම වැනි අවිද්‍යාත්මක සහ යල්පැනගිය අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමවේද මෙන්ම අක්‍රමවත් සංවර්ධන ක්‍රියාකාරකම් දිවයිනේ අලි - මිනිස් ගැටුම් ඉහළ යාමට හේතුවන බවයි පර්යේෂකයෝ අවධාරණය කරති.එබැවින් වන අලි ඇතුන් තවත් ප්‍රචණ්ඩ කරන යල්පැනගිය අලි - මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රම වලින් මිදී එම සතුන් ඔවුන්ගේ වාසභූමි තුළම සංරක්ෂණය කරමින් විද්‍යාත්මක භූමි පරිහරණ රටාවකට අනුව කටයුතු කිරීම තුලින් අලි - මිනිස් ගැටුමට විසඳුම් සෙවිය යුතු බව පර්යේෂකයෝ පවසති.එසේම වන අලි ඇතුන් වනජීවී රක්ෂිත තුළට ගාල්කිරීම වෙනුවට වන අලින්ගේ ප්‍රහාරවලින් බැටකන ගම්මාන ආරක්ෂාවන පරිදි ඒ වටා ස්ථිර විදුලි වැට ඉදිකිරීම සහ කුඹුරු වටා තාවකාලික විදුලි වැට ඉදිකිරීම මගින් ජීවිත හා දේපළ හානි අවමකර ගැනීමට හැකියාව පවතී.

එමෙන්ම වන අලි ගැවසෙන ප්‍රදේශවල විශේෂයෙන් රාත්‍රී කාලයේ දී සැළකිලිමත්වීම වැනි කරුණු මගින්ද හානි අවමකර ගැනීමේ හැකියාව ඇත. තවද වන අලින් නිවෙස් වෙත ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුවක් වන කෘෂි අස්වනු නිවෙස් තුළ ගබඩාකර තැබීම වැළැක්වීම සඳහා වන අලි - මිනිස් ගැටුම් බහුලව පවතින ප්‍රදේශවල කෘෂි අස්වනු සාධාරණ මිලකට මිලදී ගැනීමට රජය මගින් කටයුතු කිරීම කාලෝචිත බව පර්යේෂකයින් වැඩිදුරටත් අවධාරණය කරති.

Share