කොරෝනා පරදා ⁣ඩෙංගු නැගිටියි : මාස 03ට රෝගීන් 3200ක්

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 6/5/2020 1:29:00 PM
කොරෝනා පරදා ⁣ඩෙංගු නැගිටියි : මාස 03ට රෝගීන් 3200ක්

මාර්තු සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 3200කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා Medialk.com වෙත පැවසීය.

මාර්තු මාසයේදී රෝගීන් 1598 දෙනකු, අප්‍රෙල් මාසයේදී රෝගීන් 476දෙනකු, මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 1194 දෙනකු පමණ වාර්තා වී තිබේ.

මෙම වසරේ ඩෙංගු මරණ 22ක් පමණ වාර්තා වී ඇතැයි ද ඒ මහතා කීවේය.

සාමාන්‍යයෙන් අවුරුද්දේ ජූනි සහ ජූලි මස ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවදානමක් පවතින බවත් ඩෙංගු රෝගීන් ගණන වැඩි වුවහොත් කොරෝනා වෛරස ආසාදිත යැයි සැක කෙරන රෝගීන් සමග ප්‍රතිකාර කිරීමට යම් අපහසුවක් ඇති විය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

2019 වසරේ ජූනි මාසයේදී ඩෙංගු රෝගීන් 6019 දෙනකුද ජූලි මාසයේ රෝගීන් 8897 දෙනකුද වාර්තා වී තිබේ.

නමුත් මේ වන තෙක් කොරෝනා වසංගතය හේතුවෙන් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ගැටළුවක් ඇති වී නැති බව ද රෝගීන් ඇතුළත් කරගැනීමට පෙර පරීක්ෂාවන් සිදුකර ඩෙංගු රෝගීන් වෙනම ඩෙංගු අංශයට හෝ සාමාන්‍ය වා⁣ට්ටුවකට ඇතුළත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

එවිට කොරෝනා යැයි සැක කෙරෙන රෝගීන් සමග ප්‍රතිකාර කිරීමේදී ගැටළුවක් ඇති නොවූ නමුත් රෝගීන් ගණන වැඩි වුවහොත් පමණක් ගැටළුවක් ඇතිවීමට ඉඩ ඇති බව වෛද්‍ය අරුණ මහතා අවධාරණය ක⁣ළේය.

ඒ හේතුවෙන් ඩෙංගු රෝගීන් වැඩීවීම වළක්වාගැනීමට ගතහැකි සියලු පියවර ගත යුතු බව පෙන්වා දෙන ඒ මහතා ලබන සතියේ සිට ඩෙංගු අවදානම් ප්‍රදේශ පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.

ඩෙංගු බෝවිය හැකි ජලය එකතු වෙන ස්ථාන ඉවත් කරන ලෙසත් කොරෝනා වෛරසය ගැන මෙන්ම ඩෙංගු පැතිරීම ගැන ද සැලකිලිමත් වෙන ලෙසත් ඒ මහතා උපදෙස් දුන්නේය.

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 

වසංගත රෝග විද්‍යා අංශයට අනුව 2020 වසරේ ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 11595 දෙනකු වාර්තා වී ඇති අතර පෙබරවාරි මාසයේ ⁣රෝගීන් 5353 දෙනකු වාර්තා වී තිබේ.

මාර්තු මාසයේදී රෝගීන් 1598 දෙනකු පමණත්,අප්‍රෙල් මාසයේදී රෝගීන් 476 දෙනකු පමණත් මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 1194 දෙනකු පමණත් වාර්තා වී ඇත.

ඒ අනුව මෙි වසරේ මේ වන තෙක් රෝගීන් 20216 දෙනකු වාර්තා වී තිබේ.

මාර්තු මාසයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ දිස්ත්‍රික්ක

  1. කොළඹ - 235
  2. මඩකලපුව -222
  3. යාපනය - 154

අප්‍රේල් මාසයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ දිස්ත්‍රික්ක

  1. මඩකලපුව - 86
  2. රත්නපුර - 47
  3. කළුතර - 46

මැයි මාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ දිස්ත්‍රික්ක 

  1. රත්නපුර - 198
  2. මහනුවර - 193
  3. කොළඹ - 176

මේ වසරේ රෝගීන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව දිස්ත්‍රික්ක අනුව

2019 වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන් ගණන

මාසය 2019 වසර 2020 වසර
ජනවාරි 5580 11595
පෙබරවාරි  3736 5353
මාර්තු  3832 1598
අප්‍රේල් 2970 476
මැයි 4260 1194

 

 
 

 

2017 වසරේ රෝගීන් 186101 දෙනකු , 2018 වසරේ රෝගීන් 51659 දෙනකු  සහ 2019 වසරේ ඩෙංගු රෝගීන් 105049 දෙනකු වශයෙන් වාර්තා වී තිබේ.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව හා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම උණ වැළඳුනු විට ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන්  මහජනයා දැනුවත් වීමේ  අවශ්‍යතාවය මෙ මගින් පෙන්නුම් කරන බවත් එමෙන්ම දින තුනකට වඩා උණ රෝගය පවතීනම් ප්‍රතිකාර ලබා ගැනීම හා අවශ්‍ය සායනික පරීක්ෂණ සිදුකරගැනීම වැදගත් බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඩෙංගු රෝගයේ ඉතිහාසය

ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ  වාහක රෝගයන් අතර ප්‍රධාන තැනක් ගන්නා අතර පළමු වරට රසායනාගාර පරීක්ෂණ මගින් ඩෙංගු රෝගය බවට තහවුරු කරන ලද රෝගියකු වාර්තා වුයේ 1962 වසරේදී බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු වසංගත තත්වයක් පළමුවරට වාර්තා වුයේ 1965-1966 වසරවලදී වන අතර ඩෙංගු රක්තපාත රෝගීන් කිහිපයක් පමණක් මේ අතර සිටින ලදී. 

වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදු කරන ලද පර්යේෂණ වලට අනුව 1970 හා 1980 දශකවල ඩෙංගු රෝග ව්‍යාප්තිය නොකඩවා සිදු වී ඇති අතර වසංගත තත්වයන්ද යම් යම් කාල වකවානු තුල සිදුවී ඇත.මේ කාලය තුල තීව්‍ර ඩෙංගු රෝග තත්වයන් වන ඩෙංගු රක්තපාත හා ඩෙංගු කම්පන තත්වයන් ඉතා කලාතුරකින් පමණක් වාර්තා වී ඇත.

තවද 1980 -1985 කාලයේදී වෛරස් රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් 14% - 24% වන රෝගීන් සංඛ්‍යාවකගේ රෝග තත්වයන් ඩෙංගු වෛරසය අසාදනය වීම නිසා සිදුව ඇති බවට හා වෛරස් කාණ්ඩ 4 ම මේ කාලයේදී ලංකාවේ පැතිර ගිය බවට ද සොයා ගෙන ඇත.එලෙසම ඩෙංගු 2 හා ඩෙංගු 3 යන වෛරස් කාණ්ඩ වැඩි රෝගීන් සංඛාවක් තුල තිබු බවටද හඳුනාගෙන ඇත.

පළමුවරට ඩෙංගු 3 වෛරස් කාණ්ඩය හේතුවෙන් ඩෙංගු රක්තපාත හා ඩෙංගු කම්පන තත්වය සහිත වසංගත තත්වයක් 1989- 1990 දී වාර්තා විය. ඩෙංගු 3  වෛරස් කාණ්ඩය ලංකාවේ සංසරණය වී වසර ගණනාවකට පසුව පළමුවරට මෙවැනි තත්වයක් ඇති වූයේ  ඩෙංගු 3  වෛරස් කාණ්ඩයේ  සිදු වූ ජානමය වෙනස් කමක් හේතුවෙන්  බවට ද  අනුමාන කරයි.

එතැන් සිට නියත කාල පරාසයන් වලදී ක්‍රම ක්‍රමයෙන් රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩි වීමක් සහ වඩාත් තීව්‍ර ඩෙංගු රක්තපාත හා කම්පන තත්ත්ව සහිත වූ වසංගත තත්වයන් ශ්‍රී ලංකාව තුල වාර්තා විය.

මෙම තත්වයන් මත 1996 වසරේදී ඩෙංගු රෝගය අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතු රෝග ලැයිස්තුවට අන්තර්ග්‍රහණය කරන ලදී. 

ඩෙංගු රෝගයේ වර්තමාන තත්ත්වය

ඩෙංගු වෛරසය දිවයිනේ බොහෝ ප්‍රදේශයන් වල විශේෂයෙන්ම වඩාත් නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශයන් වල වසර මුළුල්ලේම පැතිර යෑමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරයි. වැඩි රෝගීන් සංඛ්‍යාවක් වසර මැද (මැයි මස සිට ජූලි මස අතර කාලයේදී ) නිරිත දිග මෝසම් වැසි ආශ්‍රිතව ද වසර අගදී ( ඔක්තෝබර් සිට ජනවාරි දක්වා) ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය ආශ්‍රිතවද වාර්තා වේ.

ඩෙංගු රෝගය යනු

ඩෙංගු රෝගය යනු වෛරස් අසාදන රෝගී තත්වයක් වන අතර මෙම රෝගය බෝ කරන්නේ එකිනෙකට බෙහෙවින් සමාන වුත් එහෙත් එක් එක් වෛරසය රෝගය බෝ කල හැකි රෝග කාරකයන් වශයෙන් ක්‍රියා කරන්නාවුද  වෛරස කාණ්ඩ 4ක් මගිනි. (DEN 1, DEN 2, DEN 3, DEN 4 )  මෙම වෛරසය පුද්ගලයකුට රැගෙන යන්නේ ඊඩිස් වර්ගයට අයත් අසාදිත ගැහැණු මදුරුවකු විසිනි. ඩෙංගු රෝගයේ බීජෞෂණ කාලය (වෛරසය ශරීර ගතවූ දින සිට රෝග ලක්ෂණ පෙන්නුම් කරන දින තෙක් කාලය ) දින 3 සිට දින 14 දක්වා වේ.

ඩෙංගු මදුරුවා

ශ්‍රී ලංකාවේ දැනට මදුරු වර්ග 140 ක්  පමණ සිටින අතර ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක පමණක් ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වේ. මෙම මදුරු විශේෂ දෙක ඔවුන්ගේ ශරීරයේ ඇති සලකුණු නිසා පහසුවෙන් හඳුනාගත හැක.

ඊඩිස් මදුරුවන්ගේ ජීවන චක්‍රයේ ජලජ (බිත්තර, කීට හා පිලා අවස්ථා) හා ගොඩබිම අවස්ථා (සුහුඹුල් මදුරුවා) ඇති අතර ගැහැණු මදුරුවන් ජලය සහිත බඳුන් වල ජල මට්ටමට මඳක් ඉහලින් තෙත සහිත පෘෂ්ටයේ බිත්තර අලවන අතර මෙම බිත්තර වතුර හා ගැටුන විට (වැස්ස නිසා හෝ වෙනත් ක්‍රමයකින් වතුර එකතුවීම මගින්) බිත්තර පුපුරා කීට අවස්ථාව බවට පත්වේ.

මෙම මදුරු කීටයන් වතුරේ ඇති කාබනික ද්‍රව්‍ය හා කුඩා ක්‍ෂුද්‍ර ජීවින් ආහාරයට ගනිමින් 1වන කීට අවස්ථාවේ සිට 4 වන කීට අවස්ථාව වන තෙක් පැමිණේ. කීටයා අවශ්‍ය ශරීර ප්‍රමාණයට පැමිණීමෙන් පසු හා අවශ්‍ය ශක්තිමත් භාවය ලබා ගැනීමෙන් අනතුරුව 4 වන කීට අවස්ථාවෙන් පිලවා අවස්ථාවට පත්වේ. මෙම ජීවන චක්‍රය සම්පුර්ණ කිරීම සඳහා දින 8-10 අතර කාලයක් ගත කරනා අතර මෙය කීටයාගේ ආහාර ගැනීමේ ප්‍රමාණය මතද රඳා පවතී.

ඊඩිස් මදුරුවාගේ බිත්තර වලට අහිතකර පාරිසරික හා දේශගුණික තත්වයන් දරා ගෙන මාස ගණනාවක් වුවද නොනැසී සිටීමේ විශේෂ හැකියාවක් ඇති අතර මේ හේතුවෙන් මදුරුවාගේ කීට අවස්ථා, පිලා අවස්ථා හා සුහුඹුල් අවස්ථාවන් විනාශ කලද මදුරු බිත්තර රැඳි ඇති බඳුනකට ජලය වැටුන විගස බිත්තර පුපුරා නැවත මදුරුවන් බෝ වීමේ හැකියාව ඇත. අවාසනාවකට මෙන් බඳුන් වල ඇලී ඇති බිත්තර විනාශ කිරීම සඳහා විශේෂ ක්‍රම වේදයක් දැනට නොමැත. මදුරුවාගේ ජීවන චක්‍රය තුල ඇති මෙවන් අනුවර්තන නිසා බොහෝ අවස්ථාවල ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම එතරම් පහසු නොවේ.

රෝග ලක්ෂණ 

ඩෙංගු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ තද උණ, තද හිසරදය, ඇස්වල පිටුපස වේදනාව, අස්ථි වල හා පේශිවල වේදනාව, හන්දි කැක්කුම, ඔක්කාරය, වමනය, ශරීරයේ පලු මතුවීම, සුළු ලේ ගැලීමේ තත්වයන්  (විදුරුමසින්, නාසයෙන්)

ඩෙංගු රක්තපාත උණ යනු සාමාන්‍ය ඩෙංගු රෝගයට වඩා තීව්ර රෝග තත්වයක් වන අතරමෙහිදී දින 2-7 අතර කාලයක් උණ පැවතිය හැක. සාමාන්‍ය ඩෙංගු උණ රෝග තත්වයේදී ඇතිවන රෝග ලක්ෂණවලට අමතරව මෙම රෝගීන් තුල තද බඩේ කැක්කුම, නොකඩවා පවතින වමනය හා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැක.

කුඩා රුධිර වාහිනී බිත්ති තුල සිදුවෙන යම් වෙනස්කම් හේතුවෙන් රුධිරයේ  තරලය කොටස රුධිරවාහිනී තුලින් උරස් හා උදර කුහරය තුලට කාන්දු වීමක් සිදු විය හැක. මෙම අවස්ථාව බොහෝවිට පැය 24 – 48 ත් අතර කාලයකට සීමාවන අතර අවදානම් අවදිය වශයෙන් හඳුන්වයි. මෙලෙස රුධිරයේ තරලය රුධිර වාහිනී තුලින් පිටතට කාන්දු වීම නිසා රුධිර පරිමාවේ අඩුවීමක් හා රුධිරය ඝන වීමක් සිදුවන අතර මොලය, වකුගඩු, අක්මාව වැනි අත්‍යවශ්‍ය ඉන්ද්‍රියන්වලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවේ. 

මේ හේතුවෙන් රුධිර සංසරණය අඩපණ වී රෝගියා කම්පන තත්වයට පත්විය හැක. මෙම අවස්ථාවට පත්වීමට පෙර හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් රෝගියා මියයාමට පවා හැකියාව ඇත.    

රෝගීන්ට උපදෙස්

උණ තිබේ නම්,

  • රෝගියාට විවේකය ලබා දෙන්න.
  • මහන්සිවෙන්න,බරවැඩ කරන්න ඉඩ තියන්න එපා. 
  • දියර වර්ග බීමට දෙන්න : කිරි,පලතුරු යුෂ, දොඩම්යුෂ, ජීවනී ,කැද, තැඹිලි ,සුප්  මේ සදහා සුදුසුය.
  • ජලය පමණක් බීමට දෙන්න එපා.
  • රතු හෝ දුඹුරු  පැහැති දියර වර්ග පානය කිරීමට නොදෙන්න උදා- රතු පැහැ පැණි බීම,කෝපි 
  • සුපුරුදු ඝන අහාර ආහාරයට ගත හැකිනම් ලබා දෙන්න.
  • රතු හෝ දුඹුරු  පැහැති අහාර වර්ග කෑමට නොදෙන්න. උදා- චොකලට්  
  • රෝගියාටමුත්‍ර පිටවන වාර ගණන ගැන සැලකිලිමත් වන්න.
  • රෝගියාට මුත්‍ර පිටවන වාර ගණන අඩුනම් වහාම රෝහලකට රැගෙන යන්න.  

උණ තිබේනම්

  • සාමාන්‍ය වතුරෙන් ඇග තෙමන්න.
  • පැරසිටොමෝල්(Paracetamol)  නියමිත මාත්‍රාව පැය 6 කට වරක් ලබාදෙන්න.
  • (දරුවන් සදහා  නියමිත මාත්‍රාව බර අනුව ලබා දෙන්න /වැඩිහිටියන්ට  ග්‍රෑම් 1)
  • උණට ලබාදෙන අනෙකුත් බෙහෙත් වර්ග. .(වීශේෂයෙන් තද උණට ලබා දෙන බෙහෙත්)  ලබා දෙන්න එපා උදා-: Diclofinac/ Ibuprofen/Mefenamic Acid – Tablets / Syrups

උණ දින 2 කට වඩා තිබෙනම්

  • 3 වන දිනයේ රුධිර පරීක්ෂාවක් කරගන්න. 

පහත ලක්ෂණ ඇතිනම් වහාම රෝගියා රෝහලකට රැගෙන යන්න  

  • දියර පානය කිරීමට නොහැකි වීම (නිතර   වමනය කිරීම)
  • ආහාරපාන ප්‍රතික්ෂේප කිරීම
  • අධික පිපාසය
  • රෝගියාටමුත්‍රා පිටවන වාර ගණන අඩුවීම( පැය 6 කට වඩා  වැඩි කලක් තුල මුත්‍රා පිටනොවීම) 
  • අධික  බඩේ කැක්කුම
  • නිදිමත ගතිය
  • හැසිරීමේ වෙනස්කම් ඇතිවීම
  • රතු /කළු/දුබුරු පැහැයට  වමනය යාම
  • කළු පැහැයට මලපහ පිටවීම
  • රුධිර   වහනය ( විදුරුමසින්රුධිර   වහනය,මුත්‍රා රතු පැහැයට පිටවීම) 
  • කරකැවිල්ල
  • සුදුමැලි වීම
  • අතපය සීතල වීම

ඩෙංගු ප්‍රතිකාර 

ඩෙංගු රෝගය සඳහා විශේෂ ප්‍රතිකාර නොමැති නමුත් රෝග තත්වයන් කලින් හඳුනාගෙන සේලයින් වැනි අවශ්‍ය අන්තර් ශිරා  ද්‍රාවණ ලබා දීම හා රුධිර පරීක්ෂණ සිදු කිරීම ඇතුළු අවශ්‍ය සත්කාර කිරීම මගින් රෝගයේ සංකුලතා අවම කර ගත හැක. ඩෙංගු රෝගය බවට සැක කටයුතු අවස්ථාවක  උණ හා වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් නියමිත මාත්‍රාවෙන් ලබා දිය හැක. නමුත් අනෙකුත් වේදනා නාශක ඔෂධ කිසිම අයුරකින් නොගත යුතු අතර කිසිම ඇඟ වෙහෙස කරන ක්‍රියා වලින් හා ව්‍යායාම කිරීමෙන් වැළකි අවශ්‍ය පමණට විවේක ගත යුතුය.

අවශ්‍ය පමණට දියර වර්ග පානය කලයුතු අතර උණ දින දෙකකට වඩා පවතින අවස්ථාවන් වල සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රතිකාර ලබා ගත යුතුය. එක දිගට පවතින වමනය, තද බඩේ කැක්කුම, කැරකිලි ස්වභාවය   හුස්ම ගැනීමේ අපහසුතා හෝ වෙනත් අසාධ්‍ය රෝග ලක්ෂණ පවතීනම් වහාම රෝහල්ගත වීම අවශ්‍යවේ.

පැමිණිලි සිදුකරන ආකාරය

මදුරුවන් බෝවියහැකි /බෝවන ස්ථාන පිළිබඳ පැමිණිලි කිරීමට ප්‍රථම එම ස්ථානයේ හිමිකරු හෝ වගකිවයුතු පුද්ගලයන් සමග සාකච්චා කර සමථයකට පත්කරගැනීම ඉතා වදගත් වේ.එහිදී සතුටුදායක ප්‍රථිඑල නොමැතිනම් ඔබගේ ප්‍රදේශය අයත්වන මහජන සෞ.පරීක්ෂක මහතා සහ සෞ. වෛ .නිලධාරීතුමා ඇතුළුව ප්‍රදේශයේ නගර සභාව /ප්‍රාදේශීය සභාවට දැනුම්දීම පළමුව සිදුකල යුතුය(ඩෙංගු මර්දන ඒකකයේ වෙබ් අඩවියෙනි)

Share