පොලිසියෙන් පහරකෑමට ලක්වූ දරුවාට අධිකරණ වෛද්‍යවරයාගෙනුත් කුඩම්මාගේ සැලකිලි

Staff Writer | Author . Translate to English or தமிழ் 6/4/2020 5:20:00 PM
පොලිසියෙන් පහරකෑමට ලක්වූ දරුවාට අධිකරණ වෛද්‍යවරයාගෙනුත් කුඩම්මාගේ සැලකිලි

පොලිසියේ පහරකෑමට ලක්වූ බේරුවල දර්ගා නගරයේ 14 හැවිරිදි දරුවකු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ එම වෛද්‍යවරයා දරුවා ගැන වාර්තාවක් ලබා දෙනවා වෙනුවට බැණවැදුණු බව දරුවාගේ පියා කියයි.

"ඔයාලා තමයි හරක් මරණ ජාතිය.ඔයාලා තමයි කොරෝනා බෝ කළේ."යැයි කියමින් මෙම අධිකරණ වෛද්‍ය වරයා බැනවැදුණු බව එම දරුවාගේ පියා සඳහන් කළේය. 

තම දරුවා මානසික ආබාධයකින් පෙළෙන බවත්, අදාල අධිකරණ වෛද්‍යවරයා දරුවා සම්බන්ධයෙන් වාර්තාවක් නොදුන් නිසා තවත් වෛද්‍යවරයකු වෙත යොමු කළ බවත් පියා කීවේය.

ඇඳිරිනීතිය කඩ කළැයි කියමින් පසුගිය 25 වැනි දා පොලිසිය මෙම දරුවාට පහර දෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන සහිත වීඩියෝවක් පසුගිය දිනවල සමාජමාධ්‍යවල සංසරණය විය.

දරුවාට පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම දරුවාගේ පියා එම් වසීර් මහතා මෙලෙස කීවේය.

"දරුවාට පොලිසිය පහර දෙන බවට අසල සිටි අයෙක් මට දැනුම්දුන්නා. ඊටපස්සේ දරුවා සිටි තැනට මම ගියා. පොලිසිය ළමයට ගහලා අත් පිටිපස්සට තියලා බැඳලා බල්ලෙක් වගේ දාලා තිබ්බා. මම පොලිසියෙන් ඇහුව කවුද ගැටගහලා තියෙන්නේ කියලා. පොලිසිය කිව්වා මෙයා හොඳටම බීගෙන ඇවිත් තියෙන්නේ කියලා. පුතාට තුවාල වෙලා තිබ්බා. ළමයා මානසික ආබාධයකින් පෙළෙන බවට එම අවස්ථාවේම පොලිස් නිලධාරීන්ට ඒත් පොලිස් නිලධාරීන් එය ගණන් ගත්තේ නෑ. පොලිසිය කිව්වා ළමයව දවස් 14ක්  යවනවා කියලා.''

''පුතාගේ වයස අවුරුදු 14යි. ඒත් අවුරුදු හයක් හතක් වගේ තමයි තියෙන්නේ. දරුවාගේ අම්මා නෑ. මම සිල්ලර කඩේක වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. ළමයාට හරියට කතා කරන්නත් බෑ. මේ ළමයාට ලොකු අපරාධයක් කරලා තියෙන්නේ.  පොලිසියේ තුන් දෙනෙක් ගහලා තියෙනවා. ත්‍රීවිල් එකේ ආපු අයත් ගහලා. දොස්තරලා කියන්නේ මෙයාට ගහන්න එපා කියලා. හුරතලේට හදන්න කියලයි කියලා තියෙන්නේ. ''

''ඊට පස්සේ දවසක පොලිසියට පැමිණිලි කළා. පොලිසියේ නියෝග මත දරුවා අධිකරණ වෛද්‍යවරයකුට යොමු කළා. ඒ වෛද්‍යවරයා අපට බැන්නා. ඉන් පස්සේ මානසික වෛද්‍යවරයකුට යොමු කළා. ඒ වෛද්‍යවරයා තමයි මේ දරුවට කලිනුත් ප්‍රතිකාර කළේ. ''

මෙම පහරදීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගෙන් කළ විමසීමේ දී ඔහු ප්‍රකාශ කළේ තම කොට්ඨාසයේ නිලධාරියකුගෙන් ඒ ගැන විමසන ලෙසයි.

එම නිලධාරියා ප්‍රකාශ කළේ වැඩිදුර විමර්ශන අවශ්‍ය නැති බවට එම දරුවාගේ පියා  ප්‍රකාශයක් දී තිබෙන බැවින් විමර්ශනයක් නොපවත්වන බවයි.අදාළ දරුවා මානසික අබාධයකින් පෙලෙන දරුවකු බවට එම සිදුවීම වන අවස්ථවේදී අදාළ නිලධාරීන් දැනගෙන සිට නැතැයි ද නිලධාරියා කීවේය.

විමර්ශනයක් අවශ්‍ය නැතැයි කී කතාව සම්බන්ධයෙන් දරුවාගේ පියාගෙන් කළ විමසීමකදී පියා පැවසුවේ එය අසත්‍ය බවත් පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන නැති බවත්ය.

මෙම සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකිරීමට කළුතර පොලිස් අධිකාරීවරයා කණ්ඩායමක් පත් කර තිබේ. එම කණ්ඩායමේ සාමාජිකයකු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන අවසන් කර එම වාර්තාව කලුතර පොලිස් අධිකාරීවරයාට යොමු කර ඇති බවයි. 

මෙම පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිල්ලක් නැතිවම විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එම විමර්ශනය ආරම්භ කළ පසු පියාගෙන් පැමිණිල්ලක් ලැබුණු බවත් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. 
 

Share