ඇමෙරිකාවේ පොලිස් ප්‍රධානියෙක් විරෝධතාකරුවන් සමග වාඩිවෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 6/2/2020 5:48:00 PM
ඇමෙරිකාවේ පොලිස් ප්‍රධානියෙක් විරෝධතාකරුවන් සමග වාඩිවෙයි

ඇමෙරිකාවේ පැවැත්වෙන විරෝධතා මැඩපැවැත්වීම සඳහා යොදවා ඇති සියලු පොලිස් නිලධාරීන් ප්‍රචන්ඩ අයුරින් හැසිරෙන්නේ නැති බවත් ඇතැම් නිලධාරීන් විරෝධතාකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ටෙක්සාස් ෆෝර්ට් වර්ත් පොලිස් ප්‍රධානියා ඇමෙරිකාවේ විරෝධතාකරුවන් සමග එක්ව යාඥා කරන ඡායාරූප කිහිපයක් ද විදෙස් මාධ්‍යවල හුවමාරු වේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය දැක්වීමට නගරයේ පනවා ඇති ඇඳිරිනීතිය නොතකා 125 දෙනකු පමණ රැස්ව සිටි බවත් එම ස්ථානයට පැමිණි ටෙක්සාස් ෆෝර්ට් වර්ත් පොලිස් ප්‍රධානි එඩ් ක්‍රවුස් සහ එම පොලිසියේ සහාකාර පොලිස් ප්‍රධානියා විරෝධතාකරුවන් සමග කතා කර ඔවුන් සමග වාඩි වී යාඥා කළ බවත් සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

ටෙක්සාස් ෆෝර්ට් වර්ත් පොලිස් ප්‍රධානියා විරෝධතාකරුවන් සමග යාඥා කළ අයුරු    ඡායාරූප-KTVT

ඉන්පසු පොලිස් නිළධාරීන් එම ස්ථානයෙන් ඉවත් වූ බව ද එම පුවත් සේවය පැවසීය.

“මම හිතන්නේ ඒක හොද පියවරක්. එය අර්ථවත් යැයි මා සිතනවා. මෙහි සිටින ජනතාව අපගේ හදවත් දකින්නට ඇතැයි කියා මා සිතනවා. ඔවුන් වේදනාවෙන් සිටින බව අපි දැක්කා.මේ වගේ දේවල්වලින් අපි හැමෝටම හොද සමාජයක් සැකසෙනු ඇති බවට විශ්වාස කරනවා.අපි හැමෝම එකට මෙහි ජීවත් වෙන්නේ.අපි හැමෝම එකට යා යුතු ගමනක් මේක.” යැයි පොලිස් ප්‍රධානි එඩ් ක්‍රවුස් පැවසීය.

මිනියාපොලිස් පොලිසිය අතින් සිදුවූ බව කියන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට එරෙහිව ඇමෙරිකාව පුරා නගර රැසක විරෝධතා ආරම්භ වී තිබේ.

පොලිසිය සහ විරෝධතාකරුවන් අතර බොහෝ ස්ථානවල ගැටුම් ඇති වූ අතරම  සමහර නිලධාරීන් විරෝධතාකරුවන් වැළදගැනීම, ඔවුන් සමඟ යාඥා කිරීම, විරෝධතාකරුවන් සමඟ වැලපෙමින් ෆ්ලොයිඩ්ට ගෞරව දැක්වීම වැනි අවස්ථා ද දැකිය හැකි බව සීඑන්එන් පුවත් සේවය පැවසීය.

 ඇට්ලන්ටා හිදී පොලිස් නිලධාරියෙක් විරෝධතාකරුවකු වැළදගන්නා ආකාරය. ඡායාරූප- John Bazemore/AP

ජෝර්ජියාවේ ඇට්ලන්ටා හි සෙන්ටෙනියල් ඔලිම්පික් උද්‍යානය අසල පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන් ඉදිරිපිට වාඩි වී සිටි බවත් තවත් ස්ථානයක නිලධාරියෙකු විරෝධතාකරුවෙකු වැළඳගෙන සිටිනු දක්නට ලැබුණු බවත් එම පුවත් සේවය ප්‍රකාශ කළේය.

ඩෙන්වර් පොලිසියේ ප්‍රධානී පෝල් පැසන් විරෝධතාකරුවන්ට සමග අත් අල්ලාගෙන ඔවුන් සමග එකතු වී සිටි බවත් නිව්යෝර්ක් නගරයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ටෙරන්ස් මොනාහාන් සිය නගරයේ පැවති විරෝධතාවයකදී විරෝධතාකරුවෙකු වැළඳ ගත් බවත් වාර්තා විය.

Share