හිජාස්ට නීතීඥ සහය ලබාගැනීමට ඉඩ නොදීම ගැන නීතීඥවරුන් 185 දෙනකුගෙන් නීතීඥ සංගමයට ලිපියක්

Staff Writer | Author . Translate to English or தமிழ் 5/21/2020 11:49:00 AM
හිජාස්ට නීතීඥ සහය ලබාගැනීමට ඉඩ නොදීම ගැන නීතීඥවරුන් 185 දෙනකුගෙන් නීතීඥ සංගමයට ලිපියක්

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගෙන සති හතරකට වැඩි කාලයක් රඳවාගෙන සිටියත් මෙතෙක් නිසි පරිදි නීති ක්‍රියාදාමයකට යොමු කර නැතැයි කියමින් නීතිඥවරුන් 185 දෙනකු ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලිපියක් යවා තිබේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ඊයේ (20) යොමු කළ ලිපියේ මෙසේ ද සඳහන්වේ. 

''සියලුම පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ නීතිඥයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීතිඥයින් වශයෙන් අපි දැඩි ලෙස බැඳී සිටිමු.  

මේ හේතුව නිසාම අප මේ ලිපිය ලියන අතර අපගේ ලිපිය මගින් මතු කරන ලද ප්‍රධාන කරුණු දෙකක් ගැන තවමත් නීතීඥ සංගමයේ  අවධානය යොමු නොකිරීම පිළිබඳව අපි සැලකිලිමත් වෙමු.

අ. හිස්බුල්ලා මහතා මහේස්ත්‍රාත්වරයකු ඉදිරියට ඉදිරිපත් කිරීමට රහස් පොලිසිය අසමත් වීම;

ආ.හිස්බුල්ලා මහතාට නීතිඥ සහය ලබාදීමට රහස් පොලිසිය අසමත් වීම.

මෙය අතිශයින්ම බරපතළ පසුබෑමක් වන අතර නීතිය පිළිපැදීමට රහස් පොලිසියේ පැත්තෙන් අසමත් වී ඇත.

හිස්බුල්ලා මහතා මහේස්ත්‍රාත්වරයකු ඉදිරිය⁣ට ඉදිරිපත් කිරීමට රහස් පොලිසිය අපොහොසත් වීම සම්බන්ධයෙන් අපි ඔබේ කාරුණික අවධානය වීරවංශ එදිරි නීතිපති නඩුව වෙත යොමු කරමු.

ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවේදී පැහැදිලිවම කියා සිටියේ රඳවා තබා ගැනීමේ නියෝගයක් නිකුත් කර ඇති පුද්ගලයෙකු කඩිනමින් මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතු බවට නීතියෙන් නියම කර ඇති බවයි.

මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පෙනී සිටීමට හිස්බුල්ලා මහතාට ඇති අයිතිය උල්ලංඝණය වී ඇත.

මෙය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද නීතියේ වැදගත් ආරක්ෂාවක් වන බැවින්, මෙම නීතියේ අවශ්‍යතාවය පිළිපැදීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය මැදිහත් වීම අතිශයින් වැදගත් යැයි අපි සලකමු. විශේෂයෙන් නීතිඥවරයුට මෙම අයිතිය නොලැබීම ගැන සැලකිලිමත් වන විට එය අතිශය වැදගත්.

දෙවනුව, හිස්බුල්ලා මහතාට නිසි පරිදි නීතිඥ සහය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එය බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියලු පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර සම්මුතියේ 15 (2) වගන්තිය මගින් සහතික කර ඇති ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමකි.

ඔබ හොඳින් දන්නා පරිදි, නීතිඥ සහය ලබාගැනීමට  ඇති අයිතිය  අත්‍යවශ්‍ය කාරණයකි.

මේ අනුව, නීතිඥයින්ට තම සේවාදායකයා වෘත්තීය ලෙස නියෝජනය කිරීමට ඇති හැකියාව අත්‍යවශ්‍ය වන අතර නීතිඥයෙකුට ඔහුගේ / ඇයගේ වෘත්තියෙහි නියැලීමට ඇති අයිතිය බාධාවකින් තොරව පවතින බවට තවදුරටත් සහතික විය යුතුය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලිපියේ කොටස් කිහිපයක් ගැටළුකාරී බවට පෙනී යන අතර එයින් පෙන්නුම් කරන්නේ නීතීඥ සංගම් සාමාජිකයෙකුට නිසි නීති ක්‍රියාදාමයක් ලබාගැනීම සහතික කිරීම සඳහා බල කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කොටසකට ඇති නොහැකියාව හෝ අකමැත්තයි.

ඊට පටහැනිව කරුණු තිබේ නම්, කරුණාකර ඒ පිළිබඳව අපව දැනුම්ත් කරන මෙන් ඉල්ලා සිටිමු.

නීතියට අනුකූල වීම සඳහා නීතිඥ සංගමය පෙනී සිටීම අත්‍යවශ්‍ය දෙයක් ලෙස අපි සලකමු.

එවැනි ඉල්ලීමක් මගින් විමර්ශනවලට යම්කිසි බාධාවත් වූවානම් අපි කනගාටු වෙමු. නමුත් නීතියට අනුකූලව විමර්ශන පැවැත්වීම එහි කාර්යක්ෂමතාවයට අත්‍යවශ්‍ය වේ.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී මෙම කරුණු උල්ලංඝණය වී ඇත.

වෘත්තිකයන් සහ උසාවියේ නිලධාරීන් වශයෙන් ඕනෑම චූදිතයෙකුට, අතිශය දරුණු අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අයට පවා මූලික නිසි නීතිමය ක්‍රියාදාමයක අයිතිවාසිකම හිමිවීම සම්බන්ධයෙන් සහතික විය යුතු බව අවධාරණය කිරීමට අපි කැමැත්තෙමු.

එය නීතියේ ආධිපත්‍යයේ මූලික අවශ්‍යතාවයක් වන අතර ශිෂ්ට සම්පන්න සමාජයක මූලික මූලධර්මයකි.

මේ අනුව එවැනි අයිතීීීීන් අහිමි වී ඇති තමන්ගේම සාමාජිකයෙකු වෙනුවෙන් නීතිඥ සංගමය තීරණාත්මක හා ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගැනීම අත්‍යවශ්‍ය වේ.
එවැනි ස්ථාවරයක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණය කර ඇති පරිදි ව්‍යවස්ථාවේ ප්‍රකාශිත ක්‍රමවේද පිළිපැදීමට බල කිරීම හැර ඊට වැඩි හා් අඩු යමක් අවශ්‍ය නොවේ.

අපි නැවත වරක් නීතිඥ සංගමයෙන් වෙතින් ඉල්ලා සිටින්නේ තම සේවාදායකයින් නිසි පරිදි නියෝජනය කිරීමට සහ ඔවුන්ගේ වෙනුවෙන් බාධාවකින් තොරව පෙනී සිටීමට නීතිඥයින්ට ඇති අයිතිය සහතික කරන ලෙසයි.''

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නීතීඥවරයා මීට පෙර ද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ලිපියක් යොමු කරනු ලැබීය.  

හිජාස් හිස්බුල්ලා මහතාගේ නීතිඥයින්ට ඔහුට ප්‍රවේශ වීමට තිබූ අවස්ථාව අහිමි කර ඇතිි බව ඒම ලිපියේ සඳහන් විය.

අප්‍රේල් 16 වැනිදා හිස්බුල්ලා මහතාට තම නීතීඥයා සමග කතා කිරීමට ඉඩ ලබා දී ඇත්තේ විශේෂ විමර්ශන ඒකකයේ භාර නිලධාරියා ඉදිරියේ විනාඩි 15ක කාලයක් සඳහා බවත් එම ලිපියේ සඳහන් විය. නිලධාරියාට සංවාදය තේරුම් ගත හැකි වන පරිදි සිංහල භාෂාවෙන් කතා කරන ලෙස ඔවුන්ට නියම කරන ලද බවත් එම ලිපියේ දැක්විණි.

එම ලිපියේ මෙසේද දැක්වෙයි.

''හිස්බුල්ලා මහතාගේ නීතිඥයෙකුට අප්‍රේල් 28 වැනිදා ඔහුව හමුවීමට අවසර ලැබුණි.

එම රැස්වීම / සම්මුඛ සාකච්ඡාව අතරතුර:

  1. සහකාර පොලිස් අධිකාරීවරයකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නිලධාරීවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනෙක් පැමිණ සිටියහ.
  2. විමර්ශනයට අදාළ කිසිදු කරුණක් ගැන කතා නොකරන ලෙස නීතිඥවරයාට සහ හිස්බුල්ලා මහතාට නියම කෙරිණි.
  3. එම හමුවේ මුලික කාරණය හිස්බුල්ලා මහතාගෙන් කරුණු ලබා ගැනීම බව හිස්බුල්ලා මහතාගේ නීතිඥවරයා එම නිලධාරීන්ට දැනුම් දුන්නේය. එසේ පැවසුවද විමර්ශනයට අදාළව උපදෙස් ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැත.
  4. හිස්බුල්ලා මහතා තම නිර්දෝෂීභාවය සනාථ කරන කරුණු සහ / හෝ සාක්ෂි ඇති බව නීතිඥවරයාට දැනුම් දුන් විට, ඒම කරුණු නීතීඥවරයාට ඉදිරිපත් කිරීම වැලැක්වීමට රහස් පොලිසියේ නිලධාරීන් කටයුතු කර තිබේ.
  5. එම නිලධාරීන් සංවාදය අතරතුර විටින් විට මැදිහත් වී තිබේ.
  6. විනාඩි 10 ක කාලයක් සංවාදයට අවසර ලබා දී ඇති අතර ඉන්පසු සංවාදය අවසන් කරන ලෙස ඔහුගේ නීතිඥවරයාට දැනුම් දෙන ලදී.
  7. වැඩිදුර නීතිඥ ප්‍රවේශයක් ලබා නොදෙන බව ඔහුට දැනුම් දී තිබේ.

අපි පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත ලිපියක් යවා හිස්බුල්ලා මහතා වෙත නිසි හා අර්ථවත් නීතිඥ ප්‍රවේශයක් ඉල්ලා සිටි නමුත් එය⁣ට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

මෙම කාලය තුළ, රහස් පොලිසිය සහ / හෝ රහස් පොලිසියේ නිලධාරීන් මූලාශ්‍රයක් ලෙස උපුටා දක්වමින් අසත්‍ය හා ද්වේෂ සහගත තොරතුරු මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


එහි ප්‍රතිඵලයක් ලෙස හිස්බුල්ලා මහතා දරුණු මාධ්‍ය ප්‍රචාරණයකට ලක් වී ඇති අතර නිදොස් වීම සඳහා උපකාරී වනු ඇතැයි හිස්බුල්ලා මහතා විශ්වාස කරන කරුණු තම නීතිඥයින්ට හෙළි කිරීමට අවස්ථාවක් පවා නොමැතිව ඔහු සම්බන්ධයෙන් මහජන මතයක් නිර්මාණය කිරීමට උත්සහ ගෙන ඇත.


රහස් පොලිසියේ හැසිරීම හිස්බුල්ලා මහතාගේ අයිතිවාසිකම්වලට අගතියක් වන අතර ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ගේ වෘත්තීය අයිතිවාසිකම්වලට අගතියක් වේ.
රහස් පොලිසියේ හැසිරීම නීති වෘත්තියට එරෙහි ප්‍රහාරයකට සමානය.එය නීතිඥ-සේවාදායක රහස්‍යභාවය සහ වරප්‍රසාදය පිළිබඳ  මූලධර්ම ද සමච්චලයට ලක් කර ඇත.

"ඕනෑම පුද්ගලයෙකුට ලිඛිත නීතිය මගින් පනවා ඇති සීමාවන්ට පමණක් යටත්ව ඔහුගේ කැමැත්ත පරිදි ඔහුගේ නීතිඥයින්,නෑදැයන් හෝ ඕනෑම කෙනෙකු හමුවීමට සහ කතා කිරීමට අයිතියක් ඇත." යැයි බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියලු පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වන ජාත්‍යන්තර සම්මුතියේ 15 (2) වගන්තියේ සඳහන් වෙයි.

එබැවින් හිස්බුල්ලා මහතාගේ නීතිඥයින් වන හෆීල් ෆාරිස් සහ ශානක අමරසිංහ යන මහත්වරුන්ට ඔහුව හමුවීමටත් හිස්බුල්ලා මහතාගෙන් කරුණු ලබා ගැනීම සඳහාත් නිසි ප්‍රවේශයක් ලබාගැනීමට මැදිහත් කරන ලෙස කාරුණිකව  ඉල්ලා සිටිමු.''  
 

Share