කොරෝනා නිසා බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ආපදා සහන කණ්ඩායම් අමාරුවේ

Staff Writer | Author . Translate to English or தமிழ் 5/20/2020 3:35:00 PM
කොරෝනා නිසා බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ආපදා සහන කණ්ඩායම් අමාරුවේ

ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ අම්ෆන් සුළිි කුණාටුවෙන් පීඩාවට පත් වන ජනතාව අවදානම් ප්‍රදේශවලින් ඉවත් කිරීම කොරෝනා වෛරස් වසංගතය නිසා අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

කොවිඩ් -19 අවදානමෙන් ඔවුන්ව ආරක්ෂා කරගන්නා අතරතුරම මිලියන සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථානයකට ගෙන යන්නේ කෙසේද යන්න සහන කණ්ඩායම් අතර ගැටළුවක් පවතින බව වාර්තා වෙයි.

අම්ෆන් සුළි කුණාටුව අද(20) සවස පමණ වන විට මිලියන 14 ක ජනතාවක් වාසය කරන ඉන්දියාවේ කොල්කටා නගරයට සහ බංග්ලාදේශ දේශ සීමාවට ආසන්න වීමට නියමිතය.

එක්සත් ජනපද පැසිෆික් ආපදා මධ්‍යස්ථානය සහ මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලයට අනුව ඉන්දියාවේ මිලියන 33.6 ක් සහ බංග්ලාදේශයේ මිලියන 8 ක් පමණ කුණාටුවේ ගමන් මාර්ගය ආශ්‍රිතව සිටින බව පෙනී යයි.

වසංගතයක් තුළ හදිසි ගලවාගැනීම්: දැනටමත් වෛරසය වැළඳී තිබෙන්නට හැකි අවදානම ඇති ජනතාව ඉවත් කරගැනීම සඳහා ආපදා සහන සේවකයින් මුහුණු ආවරණ සහ අත්වැසුම් සමඟ දුෂ්කර කාර්යයක් සිදු කරමින් සිටින බව පැවසේ.

බංග්ලාදේශයේ අවදානම් ප්‍රදේශවලින් ඉවත්වීමට එන අයට ඔවුන්ගේම මුහුණු ආවරණ ගෙන එන ලෙස දැනුම් දී ඇත.

ඉන්දියාවේ සමහර අවතැන් කඳවුරුවල සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට ඉඩ සැලසීම සඳහා  එහි කූඩාරම්වල ධාරිතාව අඩකට වඩා අඩු කර තිබේ.ගර්භනී කාන්තාවන් සහ වැඩිහිටියන් සෙසු පිරිසෙන් වෙන්ව තබා ඇතැයි ද සීඑන්එන් පුවත් සේවය කියයි.

ඔඩීෂා ප්‍රාන්තයේ විශේෂ සහන කොමසාරිස් ප්‍රදීප් ජෙනා කියා සිටියේ හදිසි සේවාවන් මගින් සුළි කුණාටුවෙන් ජීවිත බේරා ගැනීමත් කොරෝනා වයිරසයෙන් ජීවිත බේරා ගැනීමත් සමබරව කළ යුතු බවයි.

සීඑන්එන් ඇසුරෙන්

Share