අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක හයකට ඇති වූ බලපෑම

Staff Writer | Author . Translate to English or தமிழ் 5/20/2020 6:07:00 PM
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක හයකට ඇති වූ බලපෑම

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක බොහෝ පිරිස් පීඩාවට පත්ව සිටින බවත් නිවාස හානි සහ ජීවිත හානි ද වාර්තා වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කය

18 වැනිදා සහ 19 වැනිදා ඇති වූ සුළඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කොට්ඨාස 09කට බලපෑම් එල්ල වූ අතර ඉන් පවුල් 92ක් පීඩාවට පත්වී තිබේ.

නිවාස 90ක් අර්ධ සහ සුළු හානිවලට ලක්ව ඇති අතර ව්‍යාපාරික ස්ථාන දෙකකට හානි වී තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කය

පසුගිය දින කිහිපයේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1018ක පුද්ගලයන් 2601 දෙනකු පීඩාවට පත්ව ඇති බවත් මරණ තුනක් වාර්තා වූ බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කය

පසුගිය දින කිහිපයේ ඇති වූ දැඩි සුළං සහ අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක ග්‍රාම නිලධාරී වසම් 77ක පවුල් 178ක පුද්ගලයන් 575 දෙනකු ආපදාවට ලක්වී ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.නිවාස 168ක⁣ට අර්ධ හානි සිදුව ඇත.

මාතර දිස්ත්‍රික්කය

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් 200ක් පීඩාවට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

පස් කඳු කඩා වැටීම හේතුවෙන් පල්ලේගම උතුර හා දකුණ, බටයාය, මේදේරිපිටිය, පතවල නාඩකන්ද, පොද්දන, කීරිවලගම, දෙනියාය ආදී ග්‍රාම නිලධාරී වසම්වල නිවාස අර්ධ හානි 70ක් වාර්තා වී ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිල්වලා ගඟේ පානදුගම ජල මාපකය සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇති බැවින් නිල්වලා ගඟ දෙපස පදිංචි මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ජනතාවට අවධානයෙන් සිටින ලෙස මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් රවීන්ද්‍ර ජයනාත් මහතා දැනුම් දෙයි.

දෙනියායේ ඇතැම් ප්‍රදේශ මේ වන විට ජලයෙන් යටවී ඇති අතර ඇතැම් මාර්ග ද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා පැමිණ තිබේ.

පස් කඳු කඩා වැටීම්, නාය යාම්, ගංවතුර වැනි තත්ත්වයන් ඇති විය හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ අංශ දැනුම් දෙයි.

මාතර දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාපතනය සහ තද සුළං හේතුවෙන් පවුල් 163ක පුද්ගලයන් 680 දෙනකු පීඩාවට පත්ව ඇතැයි මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.

එත් පුද්ගලයකු.තුවාල ලබා ඇති අතර පූර්ණ නිවාස හානි එකක්, අර්ධ නිවාස හානි 151ක් හා වෙනත් දේපල හානි එකක් වාර්තා වී තිබේ.

එක් සුරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 09ක පුද්ගලයන් 36 දෙනකු ස්ථානගත කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.




රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර දිස්ත්‍රික්කයට ඊයේ (19) ඇතිවූ ගංවතුර, නායයෑම් සහ සුළං තත්ත්වය එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ටම බලපා ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් / මහ දිසාපතිනි මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 2055ක පුද්ගලයන් 7929 දෙනකු ආපදාවට ලක්වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට මරණ 02ක් වාර්තා වී ඇති බවත් ඉන් එක් මරණයක් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද අනෙක් මරණය පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද වාර්තා වන බව එම දෙපාර්තමේන්තුව කියයි.

පූර්ණ නිවාස හානි 06ක්, අර්ධ නිවාස හානි 409ක් සහ වෙනත් දේපළ හානි 10ක් වාර්තා වී තිබේ.

වවුනියාව දිස්ත්‍රික්කය

වවුනියාව දිස්ත්‍රික්කයට බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජනතාව පීඩාවට පත් ව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඡායාරූප  : රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 

Share