Live 🔴 : නිල්වලා ගඟ පනාදුගම සහ පිටබැද්දරින් සුළු ගංවතුර මට්ටමකට

Staff Writer | Author . Translate to English or தமிழ் 5/19/2020 3:16:00 PM
Live 🔴 : නිල්වලා ගඟ පනාදුගම සහ පිටබැද්දරින් සුළු ගංවතුර මට්ටමකට

Update : 3.30 PM

නිල්වලා ගංගාවේ ජල මට්ටම පනාදුගම සහ පිටබැද්දර ප්‍රදේශයෙන් සුලු ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි

ඒ අනුව පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රදේශවල නිල්වලා ගංගාව ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව ආරක්ෂිත ස්ථානවලට යන මෙන් වාරිමාර්ත දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Update : 2.30 PM 

නුවරඑලිය,රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මිලිමීටර 200 ට වැඩි අධික වර්ෂාපතනයක් ලැබිය හැකි බව⁣ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

සුළඟේ වේගය පැයට කි.මී 50-60 දක්වා ඉහළ යා හැකි බවත් එම මධ්‍යස්ථානය පවසයි.

Update : 1.30 PM

ගිං ගඟේ ජල මට්ටම තවලම සහ බද්දේගම යන ප්‍රදේශවලින් සුළු ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. 

ගිං ගංගාවේ ගංගාධාරයට අයත් නෙලුව, තවලම සහ කොටපොළ යන ප්‍රදේශයන්හි පහත්බිම්වල ජීවත් වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Update 12.30 PM

පසුගිය පැය  24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නාය යාම් අධි අවදානම් කලාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කරයි. 

පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති පහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

  1. ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නෙලුව සහ තවලම
  2. රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, බලංගොඩ, කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, සහ නිවිතිගල
  3. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවල සහ මාවතගම
  4. කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, වරකාපොළ, රඹුක්කන, ගලිගමුව, කැගල්ල සහ දෙහිඕවිට
  5. මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල
  6. කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ ඉංගිරිය 
  7. නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹංගගකෝරළය

ගාල්ල, මාතලේ, රත්නපුර, කලුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල,මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක වල නායයාම් බැවුම් කඩාවැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලාබැසීම් අවදානම් කලාප වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම්කර ඇති ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සදහා පස් කන්ඩි කපා ඇති පිරිස ඒ පිළිබද අවධානය යොමු කරන ලෙසත් විශේෂයෙන්ම නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන ලෙසත් එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඇතිවිය හැති අවදානම් තත්වය පිළිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දෙයි.

Update: 11.30 AM

කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

රත්නපුර, ඇලපාත, කුරුවිට, කිරිඇල්ල, අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස එම මධ්‍යස්ථානය උපදෙස් ලබා දෙයි.

Update : 11.00 AM

පසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගාවේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරයි. 

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, කිරිඇල්ල සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කලු ගංගා පිටාර තැන්නට අයත් පහත් බිම්වල සුලු ගංවතුර තත්වයන් ඇති වේ යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 

මෙම කලාපයේ ජීවත් වන ජනතාව ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සදහා ආපදා පෙරසුදානම් ක්‍රියාකාරකම් අනුගමන කරන ලෙසත්, විශේෂයෙන්ම පාසැල් පොත් සහ උපකරණ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

නිරන්තරයෙන් ප්‍රදේශයේ ගංවතුර මට්ටම පිළිබදව අවධානයෙන් සිටිමින් කළින් හදුනාගෙන ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යාමට සුදානම්ව සිටින ලෙසත් එම මධයස්ථානය ජනවතාවට දැනුම් ඉල්ලා සිටී.

එසේම මේ පිළිබදව යම් තොරතුරක් හෝ ඔබට අවශ්‍ය සහයෝගයක් සදහා 117 දුරකථන අංකයට දැනුම් දෙන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


Update : 10.00 AM

රටේ නිරිතදිග ප්‍රදේශවල, විශේෂයෙන් දකුණු, බටහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගොඩබිම් ප්‍රදේශවල වැසි තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය මේ බව කීය.මෙය හෙට (20) පෙ.ව. 07.00 දක්වා වලංගු වන බවද සඳහන් වෙයි.

ඉදිරි පැය 24 තුළ නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 ට වඩා අධික වැසි බලාපොරොත්තු විය හැකි බව එම මධ්‍යස්ථානය පවසයි.

සුළඟේ වේගය පැයට කි.මී 50-60 දක්වා ඉහළ යා හැකි බවත් එහි සඳහන් වෙයි.

Share