අම්ෆන් තවත් චන්ඩ වෙන ලකුණු

Staff Writer | Author . Translate to English or தமிழ் 5/17/2020 1:16:00 PM
අම්ෆන් තවත් චන්ඩ වෙන ලකුණු

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අම්ෆන් සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළ ඉතා චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට අනුමාන කරන බව කාලගුණ දෙපාර්තමේන්තුව අද(17) දහවල් 12ට නිවේදනය කළේය.

එම සුළු කුණාටුව අද (17) උදෑසන 08.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 610 පමණ උතුරු අක්ෂාංශ 11.4 ත් නැගෙනහිර දේශාංශ 86.0 ත් ආසන්නව ස්ථානගතව පවතින බව පැවසේ. 

මෙය ඉදිරි පැය 24 තුලදී උතුරු දෙසටත් ඉන් අනතුරුව උතුරට බරව ඊසාන දෙසට හැරී 20 වන දින වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වෙයි.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැකි අතරම දකුණ, බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත් වලවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන වලට 150mm ඉක්මවූ ඉතා තද වැසිද ඇති විය හැකි බවත් කාලගුණ දෙපාර්තමේන්තුව කියයි.

උතුරුමැද සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

කොළඹ සිට ගාල්ල,පොතුවිල්, ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ වල ඇතැම් ස්ථානවල තද වැසිද ඇතිවිය හැක.

සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (40-45) පමණ වේ.පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල්   දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී (60-65) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි අතර පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

 

Share