රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නියෝජිත නීතිය කඩලා - කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ

Staff Writer | Author . Translate to English or தமிழ் 5/14/2020 11:07:00 AM
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් නියෝජිත නීතිය කඩලා - කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රියාකාරිකයකු වන වෛද්‍ය ඉන්දික රත්නායක මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලේ රැඳී ඉන්නේ නීති විරෝධීව බව කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා MediaLK.com වෙත පැවසීය.

අවුරුදු ගණනක සිට ඔහුට ස්ථාන මාරු කිහිපයක් ලැබුණ ද එය ක්‍රියාත්මක කර නැති බවත්, මේ වන විට ඉන්දික රත්නායක මහතා කුරුණෑගල රෝහලෙන් නිදහස් කර ඇති බවත්, ඔහු දැන් එහි රැඳී ඉන්නේ නීති විරෝධීව බවත් වීරබණ්ඩාර මහතා කීවේය.

තමාගේ ස්ථාන මාරුව නීති විරෝධී බව මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇති බවත්, තමාට එරෙහිව කටයුතු කරන පිරිස මැතිවරණ නීතිය ද උල්ලංඝණය කරන බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

''මට විරුද්ධව කටයුතු කරන්නේ සුළු පිරිසක්. පිටින් පිරිස් ඇවිත් තමයි මේක මෙහෙයවන්නේ. මෙතන ඉන්න ඉන්දික රත්නායක අපේ රෝහලෙන් නිදහස් කරපු කෙනෙක්. විශ්‍රාමික වෛද්‍යවරයෙක් සහ රෝහලෙන් නිදහස් කළ වෛද්‍යවරයෙක්  මේක මෙහෙයවනවා. වෛද්‍යවරුන් විශාල පිරිසක් ඉන්න රෝහලේ වෛද්‍යවරුන් හතර දෙනයි මේ පිරිස සමඟ ඉන්නේ. ඔවුන් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අවුස්සනවා. ඉන්දික රත්නායක ජොන්ස්ටන් ඇමතිතුමාගේ වරාය අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නා බව ඔහුම පිළිගත්තා. ඊයේ මට රාජකාරියට වාර්තා කරන්න ඉඩ නොදුන්න එක සම්බන්ධයෙන් අද පොලිසියට පැමිණිල්ලක් කරනවා.'' යැයි වීරබණ්ඩාර මහතා කීවේය.

ඉන්දික රත්නායක මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරිකයෙක් වන අතර ඇතැම් මාධ්‍ය ඔහුව හඳුන්වා තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කුරුණෑගල ශාඛාවේ ලේකම් නිසයි. සමහර මාධ්‍ය ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක ලෙස හඳුන්වා තිබිණි.

වෛද්‍ය සාෆි ශිහබ්දීන්ට එරෙහිව ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය අත්අඩංගුවට ගැනීමට සිටි දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ඉන් වැලැකී ගියේ ආණ්ඩු මාරුවීමත් සමඟය.

සාෆි සිද්ධිය සම්බන්ධයෙන් සහ කුරුණෑගල රෝහලේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මීට පෙර පළ කළ වාර්තා පහතින්

Share