ජන දුක ගැන ෆේස්බුක් සජීවී විකාශයක් කළ තරුණයා දේශපාලන උවමනාවට පොලිස් අත්අඩංගුවට

Staff Writer | Author . Translate to English or தமிழ் 5/9/2020 12:32:00 PM
ජන දුක ගැන ෆේස්බුක් සජීවී විකාශයක් කළ තරුණයා දේශපාලන උවමනාවට පොලිස් අත්අඩංගුවට

මෝදර කෝවිලක රඳවා සිටි වතුකරයේ පිරිසකට ආහාර පාන නොලැබීම ගැන එම පුද්ලයන්ගේ අදහස් ෆේස්බුක් ඔස්සේ සජීවීව ලබා දුන් තරුණයකු මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

බස්රථයක වැඩ කරන මෙම තරුණයා ඇඳිරිනීතිය පැනවූ දිනයේ සිටම ප්‍රදේශයේ ආහාර පාන නොලැබෙන පවුල්වලට ආහාරපාන බෙදා දෙමින් බස් රථයේම සිට තිබේ. එලෙස සිටිය දී මෝදර කෝවිලක රඳවා සිටින වතුකරයේ පිරිසකට ආහාරපාන නැතැයි ලැබී ඇති තොරතුරකට අනුව ඔහු අදාල ස්ථානයට ගොස් ඇත.

එහි සිටි පිරිස සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසට චෝදනා කරමින් කතා කර ඇති අතර තමන්ට ආහාරපාන නොලැබෙන බව ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශ එම අවස්ථාවේම මේ තරුණයාගේ ෆේස්බුක් පිටුව හරහා සජීවීව ලබා දී ඉන් පසු මේ පිරිසට ආහාරපානද තරුණයා විසින් ලබා දෙනු ලැබ තිබෙන බවඑහි සිටි පුද්ගලයෙක් පැවසීය.

කෙසේ වෙතත් ඉන් පසුව මෝදර පොලිසිය මේ තරුණයා අත්අඩංගුවට ගෙන පැය 24ක් පමණ පොලිසියේ රඳවාගෙන සිට ඇති අතර පසුව ඔහුගේ දුරකතනය පොලිසියේ තබාගෙන තරුණයා පමණක් පොලිස් ඇප පිට මුදා හැර තිබේ.  

''මම හොර වැඩක් කළේ නෑ. මම කළේ ඒ මිනිස්සු කියපු ටික ෆේස්බුක් ලයිව් දුන්නු එක විතරයි. මම බලෙන් ඒ ස්ථානයට ගියෙත් නෑ. සීසීටීවී චෙක් කළොත් බලන්න පුලුවන් වෙයි ඒ මිනිස්සු මං එනකං බලං ඉන්නවා සහ මම ඔවුන්ට ආහාරපානත් දුන්නා. '' මෙම තරුණයා MediaLK.com සමඟ පැවසීය.

තරුණයා ෆේස්බුක් ඔස්සේ දුන් වීඩියෝව 4400ක් නරඹා ඇති අතර 132කු එය 'ෂෙයාර්' කර තිබේ.

දැනගන්නට ඇති පරිදි මෙම ෆේස්බුක් වීඩියෝ ඉවත් කර දෙන සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ පාර්ශ්වයෙන් පොලිසියෙන් ඉල්ලා ඇති අතර පොලිසිය තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය. අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය තරුණයාගේ ප්‍රකාශයක් සටහන් කරගෙන නැත. පොලිසිය ප්‍රකාශය සටහන් කර ගෙන ඇත්තේ ඔහු පැය 24ක් පොලිසියේ රඳවා තබාගෙන පොලිස් ඇප දීමට සුළු වේලාවකට පෙරය. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

sri lanka arrest

sri lanka arrest person

Share