මහමැතිවරණයට ජූනි 20 නියම කිරීමට එරෙහිව වික්ටර් අයිවන් ඇතූළු පිරිසකගෙන් පෙත්සමක්

Staff Writer | Author . Translate to English or தமிழ் 5/6/2020 5:04:00 PM
මහමැතිවරණයට ජූනි 20 නියම කිරීමට එරෙහිව වික්ටර් අයිවන් ඇතූළු පිරිසකගෙන් පෙත්සමක්

පාර්ලිමේන්තු මැතිවරණය ජූනි 20 වැනිදා පැවැත්වීමට ගත් තීරණයට එරෙහිව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ තවත් හත් දෙනෙකු මූලික  අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

එම පෙත්සම්කරුවන් වන්නේ වික්ටර් අයිවන්, ටී.එම් ප්‍රේමවර්ධන, මහාචාර්ය  ඇන්ටන් මීමන, ඒ.එම්. ජිෆ්රි, එස්  සිවගුරුනාදන්, මහින්ද හත්තක, එම්.එස් ජයකොඩි සහ  එච් ඩී එස් එෆ් හේරත් යන මහත්වරුය.

වගඋත්තරකරුවන් ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, මැතිවරණ කොමිෂන් සභාව, එහි සභාපති මහින්ද දේශප්‍රිය හා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් වන එන්. ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.

අටවැනි පාර්ලිමේන්තුව මාර්තු දෙවැනිදා විසුරවනු ලැබූ බවත් අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ බවත් නව පාර්ලිමේන්තුව මැයි 14 වැනිදා කැඳවීමට නියමිතව තිබූ බවත් කොරෝනා වෛරසය හේතුවෙන් මැතිවරණය අප්‍රේල් 25 පැවැත්වීමට නොහැකි බවට මාර්තු 21 නිවේදනය කළ බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

2020 අපේ‍්‍රල් 20 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව විසින් ජුනි 20 වැනිද මැතිවරණය පැවැත්වීමේ දිනය ලෙස නම් කළ බව එහි සඳහන් වෙයි.

පක්ෂ හා අපේක්ෂකයින්ට නිදහසේ හා විවෘතව මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමේ හැකියාව ද ඇතුළුව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් ජුනි 20 වැනිදා පැවැත්විය නොහැකිනම් තවදුරටත් මැතිවරණය කල් දමන බවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මාධ්‍යයේ පෙනී සිටිමින් ප්‍රකාශ කළ බවද ඔවුහු පෙන්වා දෙති.

ඔවුන් පවසන්නේ නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඇතුළත මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් කැඳවිය යුතු බවයි.

නමුත් මේ අනුව මාස තුනක් ඇතුළත එලෙස නව පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බවත් නීතියෙන් අවසර ඇති කාල සීමාවට වඩා කාලයක් රටට පාර්ලිමේන්තුව අහිමි වන බවත් ඔවුහු පෙන්වා දෙති.

පාර්ලිමේන්තුව මාස තුනකට වැඩි කාලයක් විසුරුවා හැර තිබීම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය මාරාන්තික ලෙස අඩපණ වී ඇති බව ඔවුහු පවසති.

වර්තමානයේ පවතිනවා වැනි ජාතික අර්බුදයක් හමුවේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා කැපී පෙනෙන බවත්

විශේෂයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමඟ කියවා ඇති මහජන ආරක්‍ෂක ආඥා පනතේ විධිවිධාන, නව නීති සම්පාදනය කිරීම සහ විධායකය  ව්‍යවස්ථාදායකය මගින් අධීක්‍ෂණය කිරීමේ අවශ්‍යතාව වැනි කරුණු නිසා පාර්ලිමේන්තුව මේ අවස්ථාවේ වැදගත් බවත් එම පෙත්සමේ සඳහන් වෙයි.

ඡන්ද විමසීමේ දිනය වෙනස් කිරීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බව ඔවුන් තරයේ කියා සිටින අතර ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා නියම කර ඇති දිනය සංශෝධනය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධී බවත් එය⁣ට නීතියෙන් කිසිදු බලයක් හෝ නොමැති බවත් ඔවුහු තරයේ කියා සිටිති.

COVID-19 වසංගතය සහ ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සැලකිල්ලට ගත් විට 2020 ජුනි 20 වැනිදා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි බව ඔවුහු පවසති.

ඔවුන් උසාවියෙන් ඉල්ලා සිටින්නේ ගැසට් නිවේදන අවලංගු කරන ලෙසයි.

මෙම පෙත්සම සඳහා ජනාධිපති නීතීඥ එම් සුමන්තිරන් මහතා පෙනී සිටීමට නියමිතය.

Share