ප්‍රංශයේ සෞඛ්‍ය හදිසි තත්ත්වය මාස දෙකකට දීර්ඝ කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 5/3/2020 5:24:00 PM
ප්‍රංශයේ සෞඛ්‍ය හදිසි තත්ත්වය මාස දෙකකට දීර්ඝ කරයි

කොරෝනා වෛරසය හේතුවෙන් ප්‍රංශය විසින් පනවනු ලැබ ඇති සෞඛ්‍ය හදිසි තත්ත්වය ජූලි 24 දක්වා තවත් මාස දෙකකින් දීර්ඝ කරන බව එරට සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් මහතා පැවසීය.

නීති කෙටුම්පතක සඳහන් වන්නේ මාර්තු 24 වන දින ආරම්භ වූ මෙම හදිසි තත්ත්වය ඉවත් කිරීම මගින් වෛරසයේ පැතිරීම උග්‍ර වීමේ අවදානමක් ඇති බවයි.

"අපට දිගු දුර ධාවන තරඟයක් දිවීමට සිදුවෙනවා," වේරන් පැවසීය.

වෛරසයට එරෙහි සටනේදී ප්‍රංශ ජනතාව දැනටමත් දැවැන්ත උත්සාහයක් දරා ඇති බව තමා දන්නා බව ඔහු පැවසීය.

මෙම කෙ⁣ටුම්පත සඳුදා සෙනෙට් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පසු දින ජාතික සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ප්‍රකාශක සිබෙත් එන්ඩියේ පැවසීය. 

ලබන සතිය අවසාන වන විට⁣ මෙම සෞඛ්‍ය හදිසි තත්ත්වය නීතිගත වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නව හදිසි පනත් කෙටුම්පත මඟින් විදේශයන්හි සිට ප්‍රංශයට පැමිණෙන පුද්ගලයින් සඳහා නිරෝධායන කොන්දේසි ද දක්වා ඇත.

රටට ආපසු පැමිණෙන ප්‍රංශ පුරවැසියන් ද ඇතුළුව ප්‍රංශයට එන සංචාරකයින්ට සති දෙකක නිරෝධායනයකට හා හුදෙකලා කිරීමකට යටත් විය යුතු බව වේරන් පැවසීය.

“මෙම නිරෝධායනය ප්‍රංශ භූමියට නැවත පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුට අදාළ වනු ඇත,” වේරන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

ප්‍රංශය වෛරසයෙන් වැඩිපුරම පීඩාවට පත් යුරෝපීය රටවලින් එකක් වන අතර තහවුරු වූ රෝගීන් 167,346 දෙනෙකුගෙන් 24,594 ක් මියගොස් තිබේ.

ප්‍රාථමික පාසල් නැවත විවෘත කිරීම සහ සමහර ලොක්ඩවුන් සීමාවන් ක්‍රමයෙන් ඉවත් කිරීම මැයි 11 සිට ආරම්භ කරන එරට රජය නිවේදනය කළේය.

බොහෝ වෙළඳසැල් නැවත විවෘත කිරීමට අවසර හිමිවනු ඇති අතර කාර්යාල සේවකයන් නැවත කාර්යාල වෙත කැඳවීමට ද අවසර හිමි වෙනු ඇත.

අල්ජසීරා ඇසුරෙන්

Cover Photo :AFP

Share