මුඛ ආවරණ නැත්නම් ඇඳිරි නීති බලපත්‍රය අවලංගුයි

Staff Writer | Author . Translate to English or தமிழ் 5/1/2020 9:06:00 PM
මුඛ ආවරණ නැත්නම් ඇඳිරි නීති බලපත්‍රය අවලංගුයි

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ආරම්භ කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

මේ දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතු බවත් එම කාර්යාලය කියයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය මේ බව කීය.

සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන බවත් ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතු බවත් එහි සඳහන් වේ.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට හැකි බවත් පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර ඇති බවත් එම කාර්යාලය දැනුම් දෙයි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම නතර කළයුතුව ඇතැයිද ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සදහා යන එන අයට පමණක් සීමා කරනු ඇතැයි ද පැවසේ.

අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනයාගෙන් රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ. 

කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණක් බවත් මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතු බවත් එම කාර්යාලය අවධාරණය කරයි.

පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේනම් පමණක් බවත් එහි සඳහන් වෙයි.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ඊයේ (30) සිට සඳුදා (04) තෙක් දිගටම පැනවූ අතර එම දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය සඳුදා උදෑසන 5.00ට ලිහිල් කිරීමට නියමිතය. එම ඇඳිරි නීතිය මැයි 06 වැනිද තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක වන බව ජනාධිපති ලේකම් කාර්යාලය මෙම නිවේදනය මගින් පවසයි. 

එම දිස්ත්‍රික්කවලට මැයි 06 රාත්‍රී 8.00 සිට මැයි 11 අලුයම 5.00 තෙක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ද එම කාර්යාලය කියයි.
Share