චීන කොවිඩ් පරීක්ෂණ කට්ටල ප්‍රමිතියට නැතිලු ; ඉන්දියාව ඇනවුම අවලංගු කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 4/29/2020 5:38:00 PM
චීන කොවිඩ් පරීක්ෂණ කට්ටල ප්‍රමිතියට නැතිලු ; ඉන්දියාව ඇනවුම අවලංගු කරයි

චීනයෙන් ගෙන්වීමට ඇනවුම් කර තිබූ ක්ෂණික පරීක්ෂණ කට්ටල (Rapid Test Kits) දෝෂ සහිත වීම නිසා එම ඇනවුම් අවලංගු කළ බව ඉන්දියාව නිවේදනය ක⁣ළේය.

මීට ප්‍රතිචාර දක්වමින් නවදිල්ලි අගනුවර පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටියේ මෙම අවලංගු කිරීම “අසාධාරණ සහ වගකීම් විරහිත” බවයි.

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ එක් පරීක්ෂණ කට්ටලයක් ඇමෙරිකානු ඩොලර් 8 බැගින් මිලදී ගැනීම සඳහා චීන සමාගමක් වන වොන්ඩ්ෆෝ සමාගමට කළ ඇනවුම අවලංගු කළ බවයි.

පසුගිය සතියේ විවිධ ප්‍රාන්තවලින් ලැබුණු වාර්තාවල දැක්වෙන්නේ එම පරීක්ෂණ කට්ටලවලින් කළ පරීක්ෂණයන්හී ප්‍රතිඵලවල විෂමතා ඇති බව එහි සඳහන් විය.

ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය (ICMR) ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව ද මෙම කට්ටල දෝෂ සහිත බව⁣ට තීරණය වී තිබේ.

“පරීක්ෂණ කට්ටලවල ක්‍රියාකාරිත්වය පිළිබඳ විද්‍යාත්මක තක්සේරුවක් කිරීමෙන් පසු දෝෂ සහගත බවට තහවුරු වූ මෙම ඇනවුම (ගුවැන්ෂු වොන්ඩ්ෆෝ බයෝටෙක්) සහ ඒ හා සමාන තවත් ඇනවුමක් (ෂුහායි ලිව්සන් ඩයග්නොස්ටික්ස්) අවලංගු කෙරුණා." යැයි එම නිවෙිදනයේ සඳහන් විය.

“මෙම සැපයුම් සම්බන්ධයෙන් ICMR කිසිදු ගෙවීමක් කර නොමැති බව අවධාරණය කළ යුතුය” යනුවෙන් ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඉන්දියාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක ජි රොං නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම දෝෂ සහගත ප්‍රතිඵල සහ ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය ගත් තීරණය පිළිබඳව දැඩි ලෙස සැලකිල්ලක් දක්වන බවයි.

අපනයනය කරන වෛද්‍ය නිෂ්පාදනවල ගුණාත්මක භාවයට චීනය විශාල වැදගත්කමක් දරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

ගුවැන්ෂු වොන්ඩ්ෆෝ බයෝටෙක් සහ ෂුහායි ලිව්සන් ඩයග්නොස්ටික්ස් යන සමාගම් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති බවත් ඔවුන්ගේ පරීක්ෂණ කට්ටල චීනයේ ජාතික වෛද්‍ය නිෂ්පාදන පාලනාධිකාරියේ සහතිකය ලබාගෙන ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලව යුරෝපයට, ආසියාවට සහ ලතින් ඇමෙරිකාවට අපනයනය කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

කොවිඩ් -19 ක්ෂණික පරීක්ෂණ කට්ටල ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම සහ භාවිතා කිරීම සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේද පවතින බවත් ඒවාට අනුකූල නොවී පුහුණු වෘත්තිකයන් නොවන අය විසින් සිදු කරන ඕනෑම පරීක්ෂණයක ප්‍රතිඵල දෝෂ සහිත වීමෙි ඉඩක් ඇති බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ඉන්දියාවේ ප්‍රමාණවත් අයුරින් පරීක්ෂණ කට්ටල ඇති බවයි.

CNN ඇසුරෙන් 

Share