කොළඹ නගර සභා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කුඩම්මාගේ සැලකිලි : පීඑච්අයිලා 12ක් , වෛද්‍යවරයෙක් රාජකාරියෙන් ඉවතට

Staff Writer | Author . Translate to English or தமிழ் 4/29/2020 12:16:00 PM
කොළඹ නගර සභා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කුඩම්මාගේ සැලකිලි : පීඑච්අයිලා 12ක් , වෛද්‍යවරයෙක් රාජකාරියෙන් ඉවතට

කොළඹ දිසා අංක 02 ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන වෛද්‍යවරයකු සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 12 දෙනෙකු අද (29) දින සිට සිය රාජකාරිවලින් ඉවත් වී ස්වයං නිරෝධායනයට යන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට දැනුම් දී තිබේ.

කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ රාජකාරි කරනු ලැබුවේ මෙම පිරිසය. දැඩි අවදානමක් සහිත ප්‍රදේශයක් වූ එම ප්‍රදේශයෙන් අප්‍රේල් 15ත් අප්‍රේ්ල් 26ත් අතර කාලයේ කොවිඩ් 19 ආසාදිතයෝ 97 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. 

එම ආසාදිතයන් හඳුනා ගැනීමට, රෝහල් ගත කිරීමට මෙන්ම, ඔවුන් ඇසුරු කළ පිරිස් නිරෝධායනයට යොමු කිරීමට ද දිසා අංක 2ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දායක වූහ.

එලෙස දායක වූ වෛද්‍යවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස ඔවුන් ඉල්ලා තිබුණත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පවසා ඇත්තේ රෝග ලක්ෂණ පහළ වූ පසුව පරීක්ෂා කිරීම් කළ හැකි බවයි.

මේ හේතුව නිසා තමන්ට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි නිශ්චිත නොවන බවත්, ඇතැම්විට කොවිඩ් ආසාදනය වී ඇත්නම් විශාල පිරිසක් නිතර ගැවසෙන කොළඹ 01, 11, 12 13 සහ 14 ප්‍රදේශවල සේවාලාභීන් 137,000කට රෝගය පැතිරිය හැකි බවත් කියමින් වෛද්‍යවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ස්වයං නිරෝධායනයට යාමට තීරණය කර තිබේ.

මෙම තීරණය කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලිඛිතව දැනුම් දී ඇති මේ පිරිස එහි පිටපත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත්, ජනාධිපති කාර්ය සාධක බලකායටත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයටත් යොමු කර තිබේ.

කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට මීට පෙර කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු විය.

Share