කොරෝනා ආසාදිතයින් අපරාධකරුවන් කරන 'මීඩියා' සෙල්ලම නවත්වන්න - සමාජමාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් බලපෑම්

Staff Writer | Author . Translate to English or தமிழ் 4/28/2020 1:05:00 AM
කොරෝනා ආසාදිතයින් අපරාධකරුවන් කරන 'මීඩියා' සෙල්ලම නවත්වන්න - සමාජමාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් බලපෑම්

කොරෝනා ආසාදිතයන් අපරාධකරුවන් මෙන් සමාජයට හුවාදක්වමින් මාධ්‍යකරණයේ නියැලීමෙන් වළකින ලෙසට සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීහු දැඩි ලෙස ඉල්ලා සිටිති.

කොරෝනා යැයි සැක කෙරෙන හෝ නිරෝධායනය කරන තැන්වලට මෙන්ම කොරෝනා ආසාදිතයන්ගේ නිවෙස්වලට කැමරා රැගෙන ගොස් ඔවුන්ගේ අනන්‍යතාව හෙළි වන ආකාරයේ සහ ඔවුන් අපරාධකරුවන් මෙන් හැඟීමක් ඇතිවන ආකාරයෙන් ප්‍රධාන මාධ්‍යවල පුවත් විකාශය කරන බවට ඔවුහූ චෝදනා කරති.

දිගින් දිගටම මෙලෙස විකාශය කිරීම තුළින් කොරෝනා ආසාදනය වී ඇති පුද්ගලයන් ඒ බව සෞඛ්‍ය අංශවලට දැනුම් දීමෙන් වැලකී වසන් කර සිටිනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

මේ හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට අපහසු වනු ඇති බවත් මේ අවස්ථාවේ වගකීම් සහිතව හැසිරිය යුතු බවත් ඔවුහු පවසති.

පසුගිය දින කිහිපයේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු විවිධ නිලධාරීන් නිවෙස්වලට ගොස් සිදුකරන නිරෝධායන කටයුතු ඇතුළු සිදුවීම් වල වීඩියෝපට විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශය කෙරිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශ

අප්‍රේල් 06 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොවිඩ්-19 වාර්තාකරණයේදී අනුගමනය කළ යුතු නිර්දේශ කිහිපයක් ප්‍රකාශ කළේය.

එම නිර්දේශ පහත දැක්වෙයි

කොවිඩ්-19 ආසාදිත රෝගියකු මිය ගිය අවස්ථාවේදී විශේෂයෙන්ම ආදාහනය සිදු කරන දර්ශන පෙන්වීමේදී අදාළ දේහය ආදාහනාගාරයට රැගෙන යන අයුරු පෙන්වීම මගින් සහ ආදාහනය කිරීමට සූදානම් වන අවස්ථාවේදී එම මෘත ශරීරය බහාලූ පෙට්ටිය ආදාහනාගාරයට ඇතුළු කර යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ පිරිස් හැඳ සිටි ආරක්ෂිත කබා සහ අත්වැසුම් ආදිය ඉවත් කර ඒ තුළට දමන දර්ශන මගින් මිය ගිය පුද්ගලයාට යම් අගෞරවයක් සිදුවන බැවින් එම තත්ත්වය මග හරවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය නම් දේහය සුසාන භූමිය වෙත රැගෙන එන දර්ශන පමණක් විකාශය කරන ලෙස ඉල්ලා සිටී.

එම ආදාහන අවස්ථාවන්ට සහභාගි වන පවුලේ ඥාතීන්ගේ අනන්‍යතාවයන් කිසිදු අයුරකින් හෙළි නොවන ආකාරයට දර්ශන යොදාගන්නා ලෙස ඉල්ලා සිටී.

ඇතැම් අවස්ථාවන්හීදි ප්‍රායෝගික තත්වයන් මත නිරෝධායනයට ලක්වන ප්‍රදේශ සහ නිරෝධායනයට යොමු කිරීමට උත්සහ දරණ පුද්ගලයන් හා සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ද ඇතුළත්ව යම් ගැටුම්කාරී මතබේදාත්මක තත්ත්වයන් ඇති වීමේ හැකියාවක් පවතී.එම දර්ශන විකාශය අත්‍යවශ්‍ය නම් සියලු පාර්ශ්වයන්ගේ ගෞරවය ආරක්ෂා වන ආකාරයට එම දර්ශන විකාශය කරන ලෙසට ද ඉල්ලා සිටී

යම් රෝගියකු හෝ රෝගී බවට සැක අයෙකු ගිලන්රථ ආදිය මගින් යම් ප්‍රදේශයකින් රැගෙන යන අවස්ථාවන්හීදි ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොවන ආකාරයට දර්ශන යොදා ගන්නා ලෙසට ඉල්ලා සිටී.

මෙම සියලු කාරණා ගැන ප්‍රාදේශීය වාර්තා කරුවන් දැනුම්වත් කරන ලෙසට ද අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටියේය. 

එමෙන්ම අප්‍රේල් 02 වැනිදාද හෙතෙම වාර්තාකරණයේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන නිර්දේශ කිහිපයක් ප්‍රකාශයට පත් කළේය..

අප්‍රේල් 02නිදා නිකුත් කළ නිර්දේශ පහත දැක්වේ.

1. සෑමවිටම කෝවිඩ් 19 සම්බන්ධව වාර්තා කිරීම සඳහා සත්‍ය සහ තහවුරු කරන ලද මූලාශ්‍ර පමණක් භාවිත කරන්න.

2. නිරෝධායනයට ලක්කරන පුද්ගලයන්/ රෝගීන් සහ මරන වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය හා ආගම සඳහන් නොකරන්න.

3. වයිරසය ආසාදිත පුද්ගලයන් රෝගීන් මිස අනෙක් අයට රෝගය පතුරවන පුද්ගලයන් ලෙස හැඳින්වීමෙන් වළකින්න.

4. අවදානමේ ප්‍රමාණය තාක්ෂණික හා විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම් කර වාර්තා කරන්න. විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික මත සමාජගත කිරීමෙන් වළකින්න.

5. නිරෝධායනයට ලක්කරන පුද්ගලයන් හා රෝගීන්ගේ ඡායාරූප/වීඩියෝ පට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්න.

6. මිය ගිය අයගේ අවසන් කටයුතු පිළිබඳ සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේදී එම දර්ශන බොඳ කර භාවිතය යෝග්‍යය.

7. ජනතාව තුළ වෛරය ඇති වන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වළකින්න.

8. මෙම කෝවිඩ් 19 තත්ත්වය ජන මනසට ආතතිය හා ඉච්ඡා භංගත්වය ඇති වන ලෙස නොව අනාගතය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙකා අතර සහයෝගය ඇති වන ලෙස ප්‍රවෘත්ති සහ දැනුවත් කිරීම් ලබාදෙන්න.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශ නිර්දේශ නොතකමින් කොරෝනා සම්බන්ධයෙන් ජනමාධ්‍ය වාර්තා කිරීම් සිදු කරද්දී රෝගය ආසාදිත පුද්ගලයන් තමන් සමාජයෙන් කොන් වේයැයි බියෙන් වෛද්‍ය උපදෙස් නොගෙන සැඟවී සිටීමට උත්සාහ කළ හැකි බවයි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල සිදුකෙරෙන ප්‍රචාර කිහිපයක් පහත දැක්වෙයි.










Share