උතුරු කොරියාවේ නායකයා ජීවතුන් අතර බව දකුණු කොරියාව කියයි

Staff Writer | Author . Translate to English or தமிழ் 4/27/2020 9:48:00 AM
උතුරු කොරියාවේ නායකයා ජීවතුන් අතර බව දකුණු කොරියාව කියයි

උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් ජීවතුන් අතර සිටින බවත් හොඳින් සිටින බවත් කිම් ජොන් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් දකුණු කොරියාව පවසයි.

"අපගේ රජයේ ස්ථාවරය ස්ථීරයි, කිම් ජොන් උන් ජීවතුන් අතර හොඳින් සිටිනවා. ඔහු අප්‍රේල් 13 වැනිදා සිට වොන්සන් ප්‍රදේශයේ ඉඳලා තියෙනවා. සැක සහිත ගමන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වෙලා නෑ." යැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ගේ ඉහළම විදේශ ප්‍රතිපත්ති උපදේශක මූන් චුන්-ඉන් සීඑන්එන් වෙත පැවසීය.

අපේ‍්‍රල් 15 වන දින කිම්ගේ සීයාගේ උපන්දිනය සැමරීම මග හැරීම නිසා කිම්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බොහෝ රටවල් සහ මාධ්‍ය ප‍්‍රශ්න මතු කළේය. ඊට දින හතරකට පෙර දේශපාලන මණ්ඩල රැස්වීමකදී ද ඔහු දැක ඇති බව උතුරු කොරියානු ප‍්‍රාන්ත මාධ්‍ය වන KCNA වාර්තා කළේය.

ශල්‍යකර්මයකින් පසු උතුරු කොරියානු ජනපතිට බරපතල බවට එක්සත් ජනපදය බුද්ධි අංශ නිරීක්ෂණය කරමින් සිටින බව ඇමෙරිකාවේ නිලධාරියෙකු උපුටා දක්වමින් සීඑන්එන් මීට පෙර වාර්තා කළේය.

තවත් එක්සත් ජනපද නිලධාරියෙක් සඳුදා සීඑන්එන් වෙත පැවසුවේ කිම්ගේ සෞඛ්‍යය පිළිබඳ තොරතුරු විශ්වසනීය නමුත් එම තත්ත්වය තක්සේරු කිරීම දුෂ්කර බවයි.

උතුරු කොරියාව කෙරෙහි අවධානය යොමු කරන දකුණු කොරියාව පදනම් කරගත් ඔන්ලයින් පුවත්පතක් වන Daily NK විසින් කරන ලද වාර්තාවකට අනුව “අධික ලෙස දුම්පානය, තරබාරුකම සහ අධික වැඩ කිරීම” ඇති වූ සෞඛ්‍යමය තත්ත්වයක් නිසා යම් සැත්කමක් සිදුකළ බව වාර්තා වේ. ඔහු හියැන්සාන් ප්‍රාන්තයේ ස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බව එහි වැඩිදුරටත් දැක්විණි.

කිම්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බව තක්සේරු කිරීමෙන් පසුව, ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍ය කණ්ඩායමේ බොහෝ දෙනෙක් අප්‍රේල් 19 වන දින නැවත ප්යොංයැං වෙත ගිය බවත් ඔවුන්ගෙන් කිහිප දෙනකු ඔහුගේ තත්ත්වය අධීක්ෂණය කිරීම සඳහා එහි රැඳී සිටින බවත් එම වෙබ් අඩවිය වාර්තා කළේය. එම වාර්තාව ස්වාධීනව තහවුරු කරගැනීමට සීඑන්එන් පුවත් සේවයට නොහැකි වූ බව සඳහන් වේ.

නමුත් ඉරිදා උතුරු කොරියාවේ පුවත්පතක් වන Rodong Sinmun වාර්තා කර තිබුණේ කිම් උතුරු කොරියාවේ සැම්ජියොන් නගරය ප්‍රතිසංස්කරණය කිරීමට උදව් කළ කම්කරුවන්ට ස්තූති කළ බවයි. ඉරිදා වාර්තාවේ සත්‍යතාව සහ එම ස්තූති සටහන කෙලින්ම පැමිණියේ කිම්ගෙන්ද යන්න ස්වාධීනව තහවුරු කරගැනීමට ද සීඑන්එන් පුවත් සේවයට නොහැකි වී තිබේ.

කිම්ගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳ පුවත් මතුවීමෙන් පසු උතුරු කොරියානු මාධ්‍ය විසින් මෙලෙස ඔහු කරන ලදැයි කියන ප්‍රකාශ පිළිබඳව වාර්තා කළ පළමු අවස්ථාව මෙය නොවේ.

රට තුළ දෙවියෙකු සේ සලකනු ලබන තම නායකයා වටා ඇති ඕනෑම තොරතුරක් උතුරු කොරියාව දැඩි ලෙස පාලනය කරයි. මේ හේතුවෙන්ම නිල රාජ්‍ය මාධ්‍ය හරහා පෙනී නොසිටීම ඔහුගේ සෞඛ්‍යය පිළිබඳ මාධ්‍ය වාර්තා හා කටකතා ඇති කරයි.

උතුරු කොරියාවේ නිදහස් මාධ්‍යයක් නොමැති අතර රටේ නායකත්වය සම්බන්ධයෙන් ගත් විට ඔහුගේ තොරතුරු තහවුරු කරගැනීම අතිශයින් දුෂ්කරය.


උතුරු කොරියානු කටයුතු පිළිබඳ විශේෂඥ වෙබ් අඩවියක් සෙනසුරාදා චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ප්‍රකාශයට පත් කළ අතර පර්යේෂකයන් කියා සිටියේ “බොහෝ විට කිම් ජොන් උන්ට අයත්” දුම්රියක් අවම වශයෙන් අපේ‍්‍රල් 21 වැනිදා සිට රටේ නැගෙනහිර වෙරළ තීරයේ කිම්ගේ සුඛෝපභෝගී වොන්සන් නිවාසයේ අසල දුම්රිය ස්ථානයක නවතා ඇති බවයි.

දුම්රියේ මෙම ඡායාරූපය උතුරු කොරියාවේ නායකයා වොන්සාන් පරිශ්‍රයේ සිටින බව සනාථ නොකරන නමුත් එය ඔහු ප්‍රදේශයේ රැඳී සිටින බවට වාර්තා කිරීම සඳහා යම් “ හේතුවක් ” යැයි උතුරු කොරියානු කටයුතු පිළිබඳ විශ්ලේෂණයන් ප්‍රකාශයට පත් කරන 38 North වෙබ් අඩවිය පළ කළ වාර්තාවක සඳහන් වෙයි.

එම දුම්රිය නවතා ඇති දුම්රිය ස්ථානය කිම් පවුලේ අයගේ භාවිතය සඳහා වෙන් කර ඇති දුම්රිය ස්ථානය බව එම වෙබ් අඩවිය වාර්තා කරයි.  

චන්ද්‍රිකා ඡායාරූප වලින් දැක්වෙන්නේ අප්‍රේල් 15 වැනිදා එම දුම්රිය නොතිබූ බවත් අප්‍රේල් 21ට පෙර දිනයක පැමිණ අප්‍රේල් 23 වන දින තෙක් එම ස්ථානයේ නවතා සිටි බවත් ය. අප්‍රේල් 23 වන විට දුම්රිය "පිටත්වීම සඳහා නැවත ස්ථානගත කර ඇති බවක් පෙනෙන්නට තිබුණි" යැයි 38 North වාර්තාව පෙන්වා දෙයි.

CNN ඇසුරෙන්

Share