මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා නෑ

Staff Writer | Author . Translate to English or தமிழ் 4/26/2020 1:15:00 PM
මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා නෑ

නාවික හමුදා මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටයදී මිය ගිය නාවික හමුදා නිලධාරියාගේ මරණයට හේතුව මීඋණ බව නාවික හමුදාව කියයි.

මෙලෙස අභාවප්‍රාප්ත වූයේ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කළ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 වියැති ලුතිනන් කමාන්ඩර් (ස්වේච්ඡා) දොඩම්වල ගෙදර සුනිල් බණ්ඩාර දොඩම්වල නම් නිලධාරියා බව නාවික හමුදාව පවසයි.

ඔහු 2020 අප්‍රේල් මස 18 වන දින රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නාවික මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

මෙම නිලධාරියා වකුගඩු ආශ්‍රිත රෝගයකට ද මීට පෙර ප්‍රතිකාර ලබා ඇති බව සඳහන්වේ. 

ඔහුට කොරෝනා ආසාධනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පීසීආර් පරීක්ෂණයකට ද ලක් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ නිලධාරියාට කොරෝනා ආසාධනය වී නැති බවයි. 

ඔහුට කොරෝනා ආසාධනය වී ඇතැයි පැතිරයන කතාවල සත්‍යතාවක් නැතැයි නාවික හමුදාව කියයි.

මෙම මරණය කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදුවූවක් නොවන බවට තහවුරු වුවද, වැලිසර නාවික කඳවුරු සංකීර්ණයේ දැනට උද්ගතවී ඇති තත්වය මත කොවිඩ් 19 හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරනු ලබන ක්‍රියාපටිපාටියට අනුව මෙම නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු සිදු කිරීමට රාගම අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් නිර්දේශ කර තිබේ.

ඒ අනුව එම නිර්දේශයන්ට අනුකූලව දේහය පිළිබඳ අවසන් කටයුතු නාවික හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බව නාවික හමුදාව පවසයි.

Update 11.00AM

වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියකු මියගොස් ඇතැයි නාවික හමුදා ආරංචි මාර්ග වලින් පැවසේ.

ඔහු මරණයට පත්වීමට හේතුව ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවිය යුතු බවත්, සියලු වාර්තා ලැබුණු පසු ඒ ගැන නිගමනයකට ඒමට හැකි වනු ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය.

මෙම නිලධාරියා දින කිහිපයක් තිස්සේ වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබා ඇත. 

ඔහු මිය ගියේ වෙනත් රෝගයක් නිසා යැයි සැක කරන බව නාවික හමුදා ආරංචි මාර්ග කියයි.

Share