සියලු උත්සව : විනෝද චාරිකා : රැස්වීම් තවදුරටත් තහනම්

Staff Writer | Author . Translate to English or தமிழ் 4/25/2020 6:30:00 PM
සියලු උත්සව : විනෝද චාරිකා : රැස්වීම් තවදුරටත් තහනම්

සියලු ආකාර උත්සව, වන්දනා, විනෝද චාරිකා, සැණකෙළි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් තහනම් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති, සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් ද නැවත දැනුම්දෙන තුරු තවදුරටත් වසා තැබිය යුතු වේ.

ජනයා ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස ඉල්ලා සිටින බව එම මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලයි.

එම නිවෙිදනයේ මෙසේද දැක්වෙයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට ජන ජීවිතය පවත්වාගෙන යනු පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීමට රජය හඳුන්වාදුන් ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සලසා තිබේ.

කොරෝනා උවදුරෙන් ජනතාව මුදාගෙන ඔවුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහ අභිවෘද්ධිය සැලසීමට නම් වසංගතය මුළුමනින්ම පාලනය කළයුතුය. අඩාල වූ ආර්ථික ජීවිතය ඊට සමගාමීව යළි පණ ගැන්වීම අවශ්‍යයෙන්ම කළයුතුව තිබේ. මේ අරමුණු සපුරාගත හැක්කේ වෛරසය පාලනයට ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නම් පමණි.

වසංගතයේ බියකරුබව තේරුම්ගෙන සෑමවිටම නිවෙස්වල රැඳී සිටීමත්, නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත් 100% පිළිපැදීමත් ජනතාවට දිය හැකි සහයෝගය බව රජය කියා සිටී.

තමාගේත්, දූ දරුවන්ගේත්, ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නැයි රජය ජනතාවට අවධාරණය කරයි. සමාජයේ යහපතට බාධාවන අයුරින් හැසිරෙන කවරකුට වුවද පවතින නීති යටතේ උපරිම දඩුවම් පමුණුවනු ලැබේ.

Share