ඇඳිරි නීතිය තිබුණත් අවදානම් දිස්ත්‍රික්කවල රාජ්‍ය-පුද්ගලික ආයතන විවෘත කිරීමට සැරසෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 4/25/2020 6:06:00 PM
ඇඳිරි නීතිය තිබුණත් අවදානම් දිස්ත්‍රික්කවල රාජ්‍ය-පුද්ගලික ආයතන විවෘත කිරීමට සැරසෙයි

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ඇඳිරි නීතිය තිබුණ ද මැයි 04 වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර, සේවා ස්ථාන, එළවළු, මාලු සහ සිල්ලර වෙළෙඳසැල් පවත්වාගෙන යාමට අවසර ඇති බවද එම මාධ්‍ය අංශය කියයි.

කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත් සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය බවත් විෂබීජ හරණය, මුඛ ආවරණ පැළඳීම සහ විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම කළ යුතු බවත් පැවසේ.

පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර ඇතැයි ද රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ප්‍රධානීන් මැයි 04 සිට සිය කාර්යාල සහ සේවා ස්ථානවල ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතු ද යන්න ලබන සතිය තුළ සැලසුම් කළ යුතුව ඇතැයිද එම මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව කීය.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 1/3ක් පමණි. යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යාවශ්‍ය එකක් වුව ද ඒ සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමණක් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු බව සඳහන් වෙයි. 

සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන නිලධාරීන්ට නිවසේ සිට වැඩකරන ලෙස නියම කරන බව එම නිවේදනයේ දැක්වෙයි.

එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළයුත්තේ කුමන සේවකයන් ද, නිවසේ සිට වැඩකළයුත්තේ කුමන සේවකයන් ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට හැකි බවත් යම් දවසක, කාර්ය මණ්ඩලයෙන් සේවයට කැඳවන 1/3ක පිරිස වෙනුවට ඊළග දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ආයතන ප්‍රධානීන්ට නිදහස තිබෙන බවත් එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.


Share