ලොක්ඩවුන් අස්සේ ඉන්දීය ආණ්ඩුවේ පළිගැනීම් ක්‍රියාත්මකයි

Staff Writer | Author . Translate to English or தமிழ் 4/25/2020 4:59:00 PM
ලොක්ඩවුන් අස්සේ ඉන්දීය ආණ්ඩුවේ පළිගැනීම් ක්‍රියාත්මකයි

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම මර්දනය කිරීම සඳහා ලොක්ඩවුන් තත්ත්වයක් ප්‍රකාශ කර තිබියදී, ඉන්දීය ආණ්ඩුව නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සිදු කරමින්, දේශපාලන පළිගැනීම් සිදු කරමින් සිටී.

විරෝධතාකරුවන් සොයා යෑම

වසංගත තත්ත්වය යටතේ එසේ අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව නවදිල්ලියේ පමණක් 25ත් 30ත් අතර සංඛ්‍යාවකි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට ආණ්ඩුව ඉදිරිපත් කළ පුරවැසි පනත් සංශෝධනයට එරෙහිව පසුගිය පෙබරවාරි මාසයේදී විරෝධතා දැක්වූ පිරිස් ය.

මේ පනත් සංශෝධනය මගින් මුස්ලිම්වරුන් නොසලකා හැර ඇති බවට විරෝධතාකරුවෝ ආණ්ඩුවට චෝදනා කළහ. විරෝධතා දැක්වූ පිරිස අතරින් 800 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. 

ලොක්ඩවුන් වාසිය

පසුගිය මාර්තු 22 දා ඉන්දීය ආණ්ඩුව රට පුරා ක්‍රියාත්මක ලොක්ඩවුන් තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදි. එම තත්ත්වය යටතේ අප්‍රේල් 01 වැනිදා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනෙකු වූ මීරාන් හයිඩර් සහ සෆූරා සාර්ගාර් අත්අඩංගුවට ගන්නා ලද්දේ පුරවැසි පනත් සංශෝධනයට එරෙහි විරෝධතා සංවිධානය කිරීමේ චෝදනාව යටතේ ය. තවත් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බරපතළ අනීතික ක්‍රියා වැළැක්වීම සඳහා වූ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් ය. සමාජ ක්‍රියාකාරිකයෙකු වන උමාර් කාලිඩ්ට ද මෙම පනත යටතේ චෝදනා එල්ල කර ඇතත්, මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නැත.

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්

විරෝධතා සඳහා සහභාගි වූ බවට චෝදනා කරමින් ඉම්රාන්ගේ* පියා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 30 වැනිදා පස්වරුවේ ය. 51 හැවිරිදි තම පියා අත්අඩංගුවට ගැනීමට පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්, කිසිදු චෝදනා පත්‍රයක් හෝ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ඉදිරිපත් නොකළ බව ද ඉම්රාන් පවසයි. පොලිස් ස්ථානයට ගෙන ගොස් ප්‍රකාශයක් සටහන් කරගත යුතු බවත්, ඉන්පසු අත්අඩංගුවට ගැනීම පිළිබඳ නිවැරදිව කරුණු දැක්විය හැකි බවත් පොලිස් නිලධාරීන් සඳහන් කර තිබේ.

පියා බැලීමට පොලිස් ස්ථානයට ගිය පවුලේ ඥාතීන්ට පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ වැඩිදුර විමර්ශන සහ ප්‍රශ්න කිරීම් සඳහා ඔහුව වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවයි. ඊට පසු දින දිල්ලි පොලිස් ස්ථානයේ අපරාධ අංශය භාර පොලිස් නිලධාරියෙකු පවුලේ ඥාතීන්ට පවසා ඇත්තේ ඔහු ව බන්ධනාගාරගත කර ඇති බවයි. 

ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි

ඔහු බන්ධනාගාරගත කිරීමට හේතුව විමසීමේදී පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ අදාළ විරෝධතාවලට ඔහු සම්බන්ධ වී ඇති බව ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි මගින් තහවුරු වී ඇති බවයි. විරෝධතාවලට සහභාගි වූ දහස් ගණනක් වූ සියල්ලන් අත්අඩංගුවට ගන්නේ දැයි ඔවුන් පොලිසියෙන් විමසා ඇති අතර, පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ අවශ්‍ය කරන පිරිස් පමණක් අත්අඩංගුවට ගන්නා බවයි. 

සැකකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය

මේ වන තෙක් තමන්ට හෝ පවුලේ කිසිවෙකුට පියා සමග සම්බන්ධකම් පැවැත්වීමට ඉඩක් ලබා දී නොමැති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම පිළිබඳ කිසිදු ලියවිල්ලක් ලබා දී නොමැති බවත් ඉම්රාන් පවසයි.  කොවිඩ් 19 ව්‍යාප්තිය මර්දනය සඳහා ආණ්ඩුව ගෙන ඇති පියවර නිසා තමන්ට පොලිසියට හෝ නීතිඥයන් වෙත යෑම පවා අසීරු වී ඇති බවත්, අධිකරණ කටයුතු විධිමත්ව සිදු නොවීම නිසා පියාට සාධාරණයක් ඉටු කරවා ගැනීමට කිසිදු අවස්ථාවක් නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

තොරතුරු වසන් කිරීම

ලොක්ඩවුන් තත්ත්වය යටතේ සිදු කෙරෙන මේ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව පෙනී සිටින නීතිවේදිනියක වන මනේකා ඛන්නා පවසන්නේ පවතින තත්ත්වය නිසා අත්අඩංගුවට ගත් පුද්ගලයන් බන්ධනාගාර තුළ පවත්වාගෙන යන තාවකාලික අධිකරණවලට ඉදිරිපත් කරන බවත්, එම අධිකරණ කටයුතුවලට සම්බන්ධ වීම නීතිඥයන්ට දුෂ්කර වී ඇති බවත් ය.

අත්අඩංගුවට ගැනීම් පිළිබඳ තොරතුරු වසන් කිරීමට පොලිසිය කටයුතු කරන බවත්, එම තොරතුරු ඉල්ලා නීතිඥයන්ට අරගල කිරීමට සිදු වී ඇති බවත් ඛන්නා වැඩිදුරටත් පවසන්නීය.

අපි අපක්ෂපාතීයි - දිල්ලි පොලිසිය

තමන්ට එරෙහිව එල්ල වන මේ චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන දිල්ලි පොලිසිය පවසන්නේ අවංකව සහ අපක්ෂපාතී ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවත්, විරෝධතා මගින් රජයේ කටයුතුවලට එරෙහි වූ පුද්ගලයන් විද්‍යාත්මක සාක්ෂි මගින් අනාවරණය කරගෙන ඇති බවත් ය. තමන්ට එරෙහිව විපක්ෂය මගින් සිදු කරන අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ට්විටර්හි පළ වූ එම නිවේදනයේ සඳහන් ය. 

මෝදි ආණ්ඩුවේ නීතිය

අදහස් ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින හාර්ෂ් මැන්ඩර්, මෙම නිවේදනයට ප්‍රතිචාර දක්වමින් අවධාරණය කරන්නේ දිල්ලි පොලිසිය සිය විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති කර ගනිමින් සිටින බවයි. පොලිසිය අපක්ෂපාතීව කටයුතු කරන බව පැවසීම විහිළුවක් බවත්, නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට අවශ්‍ය පරිදි නීතිය හැසිරවීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් මැන්ඩර් පවසයි.

( * - ඉම්රාන් යනු අදාළ පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් භාවිත කරන ලද සංකේත නාමයකි.)

SOURCES

The hinduIndian express | Al-Jazeera

Cover Photo : Economic Times

Share