ලෝකය සාගතයකට !

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 04. 2020 | 12.33
ලෝකය සාගතයකට !

සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ලෝකය බරපතළ සාගතයකට මුහුණ දෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සංවිධානය අවධාරණය කරයි.

මේ වනවිට කුසගින්න නිසා පීඩාවිදින ජනගහනය මිලියන 135 ක් බවත්, එය ඉදිරියේදී මිලියන 250 ඉක්මවනු ඇති බවත් එම සංවිධානයේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලේ පවසයි.

ගැටුම්, ආර්ථික අර්බුදය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් පීඩාවට පත් රටවල් 10ක සිටින දූගී වැසියන් වැඩි අවදානමට ලක්ව ඇතැයි WFP පවසයි.

ආහාර අර්බුදය පිළිබඳ සිව්වන වාර්ෂික ගෝලීය වාර්තාව මගින් පීඩාවිදින රටවල් ලෙස යේමනය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඇෆ්ගනිස්ථානය, වෙනිසියුලාව, ඉතියෝපියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව, නයිජීරියාව සහ හයිටි යන රටවල් ඉස්මතු කර පෙන්වා තිබේ.

දකුණු සුඩානයේ ජනගහනයෙන් 61% ක් පසුගිය වසරේ ආහාර අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති බව එම වාර්තාව පවසයි.

වසංගතයට පෙර පවා, නැගෙනහිර අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ සමහර ප්‍රදේශ නියඟය හා දශක ගණනාවක් තිස්සේ පළඟැටියන් බෝවීම වැනි කරුණු නිසා දරුණු ආහාර හිඟයන්ට මුහුණ දී සිටී.

වීඩියෝ සම්මන්ත්‍රණයකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් බීස්ලි මහතා කියා සිටියේ ලෝකය ඥානවන්තව කටයුතු කළ යුතු බවත් ඉතා ඉක්මණින් ක්‍රියා කළ යුතු බවත්ය.

“අපට මාස කිහිපයක් ඇතුළත සාගතයන්ට මුහුණ දීමට සිදුවිය හැකියි.සත්‍යය තත්ත්වය නම් අපට කාලය නොමැති වීමයි."

"අපගේ විශේෂඥතාව සහ අපගේ හවුල්කාරිත්වය සමඟ කොවිඩ් -19 වසංගතය මානව හා ආහාර අර්බුද ව්‍යසනයක් බවට පත් නොවීමට වග බලා ගැනීම සඳහා අවශ්‍ය වැඩසටහන් කළ හැකි බව මම විශ්වාස කරනවා."ඔහු පැවසීය. 

දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණුතම මානුෂීය ව්‍යසනය ලෙස මේ අවස්ථාව හැඳින්විය හැකි බව ඔහු කීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩි අරමුදල් සහ ආහාර ලබා නොගත හොත් මිලියන 30 ක ජනතාවක් සහ තවත් බොහෝ දෙනෙක් මාස කිහිපයකින් මිය යා හැකි බවට සම්මුඛ සාකච්ඡාවකදී ඔහු බිය පළ කළේය. 

එහෙත් මෙම කාලය කොවිඩ් -19 අර්බුදය නිසා දැඩි මූල්‍ය පිරිවැය හේතුකොටගෙන පරිත්‍යාගශීලීන් ද පසුබසින අවස්ථාවකි.

"එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් ලෝකය මේ සඳහා වන්දි ගෙවනු ඇත.එක්ව වැඩ කිරීම වඩා හොඳයි " ඔහු පැවසීය.

BBC ඇසුරෙන්

Cover Photo : FAO/IFAD/WFP/Michael Tewelde

Share