වැලිසර නාවික හමුදා කඳවුරක් හුදකලා කරයි - නාවික සෙබළාට කොරෝනා හැදුණු හැටි තවම සැකයිලු

Staff Writer | Author . Translate to English or தமிழ் 23. 04. 2020 | 12.04
වැලිසර නාවික හමුදා කඳවුරක් හුදකලා කරයි - නාවික සෙබළාට කොරෝනා හැදුණු හැටි තවම සැකයිලු

වැලිසර ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා කඳවුරක් හුදකලා කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා MediaLK.com වෙත පැවසීය. 

එලෙස හුදකලා කර ඇත්තේ පොළොන්නරුවෙන් හමුවූ කොරෝනා ආසාධිතයා සේවය කළ නාවික හමුදා කඳවුර බව සූරියබණ්ඩාර මහතා කීවේය.

මෙම නාවික හමුදා සෙබළා පසුගිය 17 වැනි දා නිවාඩුවක් සඳහා පොළොන්නරුව පුලස්තිගමට ගොස් ඇති අතර එහි දී ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමෙන් පසු පීසීආර් පරීක්ෂණයට ලක් කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ එම නාවික හමුදා සාමාජිකයාට කොරෝනා ආසාධනය වී ඇති බවයි.

''ඔහුට ක්‍රම තුනක් අනුව බෝවෙන්න පුලුවන් කියලා අනුමාන කරනවා. එකක් තමයි නාවික හමුදා කඳවුර ඇතුළෙදි. අනික ඔහු නිවසට යන අතරමඟදි. තුන් වැනි එක තමයි ගෙදර ගියාට පස්සේ. මේ ක්‍රම තුනෙන් කොහොමද ඔහුට ආසාධනය වුණේ කියලා හොයා බලනවා. ඔහු සමඟ ගණුදෙනු කළ පුද්ගලයන් හඳුනාගනිමින් ඉන්නවා.'' යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

''ඔහු හිටපු කඳවුර එක්ක කඳවුරු තුනක් තියනවා. ඒ නිසා ඔහු සිටි කඳවුර හුදකළා කළා.'' යැයි ද ඔහු කීවේය.

මෙම නාවික හමුදා සාමාජිකයා නාවික හමුදාවේ අදාල කඳවුරේ රාජකාරි කර ඇත්තේ සාමාන්‍ය සමාජයට නිරාවරණය නොවන තැනක බැවින් ඔහුට රෝගය ආසාධනය වූ ආකාරය මෙතෙක් ස්ථිර වශයෙන්ම තහවුරු කර ගැනීමට අපහසු වී ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග කියයි.

පාසගිය කාල වකවානුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දිගින් දිගටම අවධාරණය කළේ කොවිඩ් 19 ලංකාවේ සමාජ පැතිරීමක් දක්වා තවමත් ගොස් නැති බවයි. කෙසේ වෙතත් රෝගය වැළඳුණු ආකාරය ස්ථිරවම තහවුරු කර ගත නොහැකි රෝගීන් කිහිප දෙනෙක්ම පසුගිය දින කිහිපයේ වාර්තා විය.  

Share