හාමුදුරුවන්ගේ නීති විරෝධී ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අයිපීට ප්‍රහාරයක්

Staff Writer | Author . Translate to English or தமிழ் 20. 04. 2020 | 7.25pm
හාමුදුරුවන්ගේ නීති විරෝධී ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අයිපීට ප්‍රහාරයක්

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස භික්ෂූන්වහන්සේ නමක කළ දැනුම් දීම නොතැකූ වාරියපොල පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයකුට පොලිස් ස්ථානය ඇතුළේදීම පහරදීමක් සිදුවී තිබේ.

වාරියපොල පොලිස් ස්ථානයේ වැටලීම් අංශයට අලුතින් පත්වී ඇති මෙම පොලිස් පරීක්ෂකවරයාට ඊයේ(19) රාත්‍රී ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු දුරකතන ඇමතුමක් ලබා දී තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ඇතැයි පැවසේ.

එම නීති විරෝධී දුරකතන ඇමතුම සම්බන්ධයෙන් එම අවස්ථාවේම පොලිස් පරීක්ෂකවරයා පොලිසියේ සෙසු නිලධාරීන්ද දැනුම්වත් කර සටහන් දමා ඇතැයි ද, අද(20) උදේ ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක දුරකතන ඇමතුමක් දී එය ඉවත් කරන ලෙස සහ ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස දැනුම් දුන් බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.

අනතුරුව වෙනත් රාජකාරියකට මෙම පොලිස් පරීක්ෂකවරයා පොලිස් ස්ථානයෙන් පිටට ගොස් එද්දී හිමිනම සහ පිරිස බැණ වැදී ඇතැයි ද, අනතුරුව ඔවුන් පොලිස් ස්ථානයට ගොස් ඇතැයි ද, පොලිස් පරීක්ෂක පොලිස් ස්ථානයට පැමිණි පසු පොලිසියේ චෝදනාගාරය අසල දී හිමිනම සමඟ පැමිණි පුද්ගලයකු පොලිස් පරීක්ෂකගේ කමිසයෙන් ඇත බිත්තියට තල්ලු කර පහර දී ඇතැයි ද පොලිසිය පවසයි. 

අදාල හිමිනම පොලිස් ස්ථානය තුළ දී පොලිස් පරීක්ෂකට පරුෂ වචනයෙන් බැන වැදී තර්ජනය කර ඇති බවත්, ස්ථානාධිපතිවරයාට ද තර්ජනය කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. 

කෙසේ වෙතත් අද සිදුවූ මෙම සිද්ධියට අදාලව ඉහළ බලපෑමක් ඇති බවට ද පොලිසිය අභ්‍යන්තරයේ යම් කථිකාවක් යන අතර පහර දුන් පුද්ගලයා පමණක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. අදාල හිමිනම අත්අඩංගුවට ගෙන නැත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ පොලිසිය ඇතුළේ දී පොලිස් පරීක්ෂකගේ කමිසයෙන් ඇදීමේ සිද්ධියක් වාර්තා වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, අනෙක් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවාද යන්න ගැන තීරණය වන්නේ එම විමර්ශනයෙන් පසුව බවත් ඔහු කීවේය.


Cover Photo :Etsy.com
Share