කොරෝනා ගැන වෛද්‍ය ලීගේ අනතුරු ඇඟවීම නොතකා ලෝකයක් අනතුරට ඇද දැමූ හැටි

දිලිණි එරංගා | Author . Translate to English or தமிழ் 20. 04. 2020 | 9.07am
කොරෝනා ගැන වෛද්‍ය ලීගේ අනතුරු ඇඟවීම නොතකා ලෝකයක් අනතුරට ඇද දැමූ හැටි

වෙන්ලියන්ග් (Li Wenliang) 33 වියැති අක්ෂි වෛද්‍යවරයකු ලෙස වූවාහන් සෙන්ට්‍රල් රෝහලේ සේවය කරමින් සිටියේය. 

2019 දෙසැම්බර් මාසයේ දී ලී ඔහුගේ සගයන්ට අනතුරු ඇඟවූයේ උග්‍ර ස්වසන රෝග ලක්ෂණවලට සමාන රෝගයක් පැතිර යන බවයි. කොවිඩ් 19 ලෙස පසුව නම් කරනු ලැබුවේ මෙම රෝගයයි. චීනයේ පළාතකට හඳුනා නොගත්, පාලනයෙන් තොර ව්‍යසනයක් ඇතිවීම ගැන මොහු විසින් අනතුරු අඟවනු ලැබුවේ මුලදීමය.   

ඒ 2019 දෙසැම්බර් 30 වැනිදා ය. වෛද්‍ය ලී විසින් රෝගියකුගේ වාර්තාවක් පරීක්ෂා පරීක්ෂා කරනු ලබද්දී එය බොහෝ සෙයින් SARS වෛරසයට සමාන ලක්ෂණ වලින් යුක්ත බව පෙනී ගියේය.

මෙම වෛද්‍ය වාර්තාව වූහාන් සෙන්ට්‍රල් රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය Ai Fen විසින් එවන ලද අතර එහි වැඩිදුරටත් සඳහන් වූයේ මෙහි ඉන්ෆ්ලුවෙන්සා රෝ්ගයට සමාන රෝග ලක්ෂණ ඇති බවය. එහි 'SARS කොරෝනා වෛරසය' යන වාක්‍ය ඛණ්ඩය ඇතුළත් වී තිබූ අතර වෛද්‍ය Ai Fen 'SARS' යන වචනය රවුම් කර එය වුහාන්හි වෙනත් වෛද්‍යවරයකු වෙත යවා ඇත. එතැන් සිට එය වෛද්‍ය පිරිස් අතරේ සංසරණය වූ අතර එම වාර්තාව වෛද්‍ය ලී වෙතද ලැබුණි.

වුහාන්හි මුහුදු ආහාර වෙළඳපොළකින් SARS වෛරසය තහවුරු කර ගත් රෝගීන් හත් දෙනකු සිටින බව තම පෞද්ගලික වෛද්‍ය මිතුරන්ගේ 'වී චැට්' සමාජ ජාලයට වෛද්‍ය ලී යැවීය. තවද ඔහු රෝගියාගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව ද, සීටී ස්කෑන් වාර්තාවේ ඡායාරූප ද එම වී චැට් මිතුරු ගොණුවට යැව්වේය. ඔහු තවදුරටත් පණිවුඩ යවමින් සඳහන් කළේ මිතුරන්ට හා පවුලේ ඥාතීන්ට ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි. 


පසුව ඔහුගේ අනතුරු ඇඟවීම මහජනතාව අතරට පැතිර යන්නට විය. 

2020 ජනවාරි තුන් වැනි දා වුහාන් පොලිසිය ඔහු කැඳවාගෙන ගොස් අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාරය පළ කිරීම සම්බන්ධයෙන් අවවාද කළේය. එසේම නැවත නොකරන බවට පොරොන්දු වෙමින් වෛද්‍ය ලී ලවා ලිපියක් ද අත්සන් කර ගත්තේය.

ලී අසත්‍ය තොරතුරක් ප්‍රචාරය නොකළ අතර ලී ප්‍රචාරය කළේ රෝගීන් කිහිප දෙනකුගේ වෛද්‍ය වාර්තා ද සමඟ ඔහුගේ නිගමනයයි. බලධාරීන් කළ යුතුව තිබුණේ ලී අත්අඩංගුවට ගැනීම නොව ලී පෙන්වාදුන් කාරණය පිළිබඳ සොයා බැලීමය. (කොරෝනා සම්බන්ධ අසත්‍ය තොරතුරු ලබා දුන්නායැයි කියමින් පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් ශ්‍රී ලංකාවෙන් ද වාර්තා විය. වෛද්‍යවරයාගේ ප්‍රකාශවල සත්‍යාසත්‍ය තාවය තීරණය කිරීමට පොලිසියට හැකියාවක් නැති බව වෛද්‍ය ලීගේ සිද්ධියෙන් පැහැදිලි වෙයි.)

අවවාදයෙන් පසු වෛද්‍ය ලී නැවත රෝහලට ගිය අතර වෛරසය ආසාධිත වූ රෝගියකුට ප්‍රතිකාර කරමින් සිටිනා අතරතුරදී ඔහුට ද වෛරසය ආසාධනය විය. ඒ ජනවාරි අට වැනි දාය. එම රෝගියා acute angle-closure glaucoma රෝගයෙන් පෙළුණු අතර පසුදා එම රෝගියා උණ රෝගයේ ලක්ෂණ පෙන්නුම් කර තිබිණි.

මෙම රෝග ලක්ෂණ හේතුවෙන් මෙම රෝගියාට කොරෝනා රෝගය ආසාධනය වි ඇති බවට වෛද්‍ය ලී සැක කළේය. 

ජනවාරි 10 වැනි දා වන විට වෛද්‍ය ලීට ද උණ හා කැස්ස ඇතිවූ අතර ඉතා ඉක්මනින් රෝගය උස්සන්න විය. 

ජනවාරි 12 වැනි දා වෛද්‍ය ලී වුහාන් මධ්‍යම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය. ඔහු එම රෝහලේ නිරෝධායනය කළ අතර වෛරසය පිළිබඳ පරීක්ෂණ ද, ප්‍රතිකාර ද සිදු කරන ලදී. ඔහුට වෛරසය ආසාධනය වී ඇති බව ජනවාරි 30 වැනි දා තහවුරු විය. 

පොලිස් ස්ථානයේ සිය අත්දැකීම් හා ඔහුට ලැබූ අවවාද ලිපිය ජනවාරි 31 වැනි දා වෛද්‍ය ලී විසින් එළියට දැමීය. පූර්ව අනතුරු ඇඟවීම් කරන වෛද්‍යවරුන්ව රජය විසින් නිෂ්ශබ්ද කරන්නේ මන්දැයි පරිශීලකයන්ගෙන් අසමින් වෛද්‍ය ලී පෝස්ටුවක් පළ කර තිබිණි. 

වෛද්‍ය ලී චීන මාධ්‍යවල අවධානයට ලක්වූයේ ඔහු වුහාන් පොලිසිය විසින් අනතුරු ඇඟවූ කටකතා පතුරුවන්නන් අට දෙනාගෙන් කෙනෙක් යැයි සැකකළ බැවිනි. 

ඔහුගේ සගයන්ට අනුව පෙබරවාරි 05 වැනි දා වන විට වෛද්‍ය ලීගේ රෝග තත්ත්වය උත්සන්න විය. පසුදින ලී විසින් මිතුරකුට දුරකතනයෙන් පැවසුවේ ඔහුට හුස්ම ගැනිමේ අපහසුතාවක් ඇති බවත්, ඔහුගේ ඔක්ෂිජන් saturation සියයට 85 දක්වා පහත වැටී ඇති බවත්ය. 

ඉන්පසු ඔහුගේ තත්ත්වය දිගින් දිගටම උත්සන්න වූ බැවින් හදීසි ප්‍රතිකාර ඒකකය වෙත යොමු කළේය. China News Weak පුවත්පතට අනුව වෛද්‍ය ලීගේ හෘද ස්පන්දනය පෙබරවාරි හත් වැනි දා රාත්‍රී 9.30ට නතර වී ඇත. ඒ අනුව චීන රාජ්‍ය මාධ්‍ය වෛද්‍ය ලී මිය ගිය බව පළ කර තිබේ. පසුව එම පළ කිරීම ඉතා ඉක්මණින්ම මකා දමා තිබිණි. රෝහල් බලධාරියකු ද ලී මිය ගිය බවට සටහනක් තබා ඇති අතර එම සටහන මිනිත්තු කිහිපයක් ඇතුළත සමාජ මාධ්‍යලවලින් ඉවත් කර කෙරිණි. 

 'කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරිමේ දී අපේ රෝහලේ අක්ෂි වෛද්‍ය ලී වෙන්ලියන්ට මෙම වෛරසය ආසාධනය වීමෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇත. ඔහු දැන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර අපි ඔහුව බේරා ගැනීමට අපේ උපරිමය කරමින් සිටිමු.' යැයි පවසමින් වුහාන් සෙන්ට්‍රල් රෝහල මගින් පසුව ප්‍රකාශයක් නිකුත් කළේය. 

2020 පෙබරවාරි 07 වැනි දින අලුයම 2.58ට වෛද්‍ය ලී මිය ගිය බව රෝහල නිල වශයෙන් නිවේදනය කළේය. 

වෛද්‍ය ලීගේ අභාවය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය සිය ට්විටර් ගිණුමේ මෙසේ පළ කර ඇත. 'වෛද්‍ය ලී ගේ අභාවය පිළිබඳව දැඩි සේ කණගාටුවට පත් වන අතර ඔහු කොවිඩ් 19 වෙනුවෙන් කළ දේ කිරීමට අප සැම වැඩකටයුතු කරමු.'


වුහාන් වැසියෝ ඔහු සේවය කළ හා මරණයට පත් වූ වුහාන් සෙන්ට්‍රල් රෝහල ඉදිරිපිට මල් තබමින් හා විසිල් පිඹිමින් වෛද්‍ය ලී වෙත උපහාර දැක්වූහ. 

නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවියේ වෛද්‍ය ලී ගැන මෙන්ම මෙම වසංගතය මැඩපැවැත්වීමට චීන රජය විසින් ගන්නා ලද වැරදි පියවරයන් ගැන සවිස්තරාත්මක ලිපියක් පළ කළේය.

'සුවය ලැබීමෙන් අනතුරුව නැවත මම ඉදිරි පෙළට යනවා' යනුවෙන් වෛද්‍ය ලී විසින් 'ද සදර්න් මෙට්‍රෝපොලිස් ඩේලි' චීන පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. 

'වෛද්‍ය ලී කොරෝනා රෝගයෙන් පෙළෙන අවස්ථාවේදී Caixin සඟරාවට ප්‍රකාශ කළේ 'සෞඛ්‍යමත් සමාජයක් සඳහා එක හඬක් ප්‍රමාණවත් නොවන බවය. 

ලී වෙන් ලියැන් Beizhen උසස් පාසලේ අධ්‍යාපනය ලබා 2004 වර්ෂයේ දී සායනික වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස වුහාන් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ අවුරුදු හතක ඒකාබද්ධ උපාධි හා ශාස්ත්‍රපති පාඨමාලාවට තේරී පත් විය. 2011 වසරේ දී උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව වෛද්‍ය ලී ක්සියාමන් විශ්ව විද්‍යාලයේ අක්ෂි මධ්‍යස්ථානයේ වසර තුනක් සේවය කළේය. ඉන් අනතුරුව 2014 වසරේ දී චීනයේ වුහාන් මධ්‍යම රෝහලේ අක්ෂි වෛද්‍යවරයකු ලෙස සේවයට පැමිණියේය. 

ලී සහ ඔහුගේ බිරිඳ ෆූ සෙන්ජි හට එක් පුතකු සිටි අතර ඔහුගේ බිරිඳ දෙවැනි දරු ප්‍රසූතියට සූදානමින් සිටියාය. මෙම වෛද්‍යවරයාගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ හොංකොං නිවුස් වෙබ් අඩවියට මෙසේ ප්‍රකාශ කර තිබිණි. ''කිසිම පෞද්ගලික පරිත්‍යාගයක් මම බාර ගන්නේ නෑ. අන්තර්ජාලය හරහා උපකාර ඉල්ලා සිටිමින් හුවමාරු වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යයි.''

ඇඟිල්ල දිගු කර හඳ පෙන්වූ විට හඳ දෙස නොබලා ඇඟිල්ල දෙසන බලන අයුරින් චීන බලධාරීන් කටයුතු කිරීමේ අවසන් ප්‍රතිඵලය වූයේ වෛද්‍ය ලීට ජීවිතය අහිමිවීම පමණක්ම නොවේ. ලෝකයේ ලක්ෂ ගණනකට ජීවිත අහිමිවීමේ අවදානම ඇති කිරීමය. 

Sources NewsWeek.com | Hong Kong News

Share