හොකයිඩෝ හදිසි තත්ත්වය ඉවත් කර දින 26කට පසු නැවතත් රෝගීන් වැඩි වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 18. 04. 2020 | 10.50pm
හොකයිඩෝ හදිසි තත්ත්වය ඉවත් කර දින 26කට පසු නැවතත් රෝගීන් වැඩි වෙයි

කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා ආසාධිතයන් සොයා ගැනීමට සහ හුදකලා කිරීමට නිසි ලෙස ක්‍රියා කළ ප්‍රදේශයක් ලෙස සැලකූ ජපානයේ හොකයිඩෝ දූපතේ යළි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ‍

එම පියවර ගෙන ඇත්තේ කලින් හදිසි තත්ත්වය ඉවත් කර දින 26කට පසු නැවතත් කොරෝනා ආසාධිතයන් වාර්තා වීමත් සමඟය

ජපානයේ උතුරු ප්‍රදේශයේ පිහිටි හොකයිඩෝ දූපත කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉතා හොඳ ක්‍රියාමාර්ග ගත් ප්‍රදේශ අතර ඉදිරියෙන්ම තිබූ ප්‍රදේශයකි.

රෝගීන් වාර්තා වීමත් සමඟ ගත් ක්ෂණික ක්‍රියාමාර්ග මගින් එම දූපතේ ආසාධිතයන් ගණන විශාල වශයෙන් පහත වැටුණු බව එරට රජය ප්‍රකාශ කළේය. නමුත් දෙවන ආසාධන රැල්ලත් සමග හොකයිඩෝ නැවතත් අවදානමකට ලක්ව ඇත.

කොවිඩ් -19 හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ ජපානයේ පළමු දූපත හෝ ප්‍රාන්තයේ හොක්කයිඩෝ දූපතයි. මුලින්ම පාසල් වසා දමා,රැස්වීම් අවලංගු කරන ලද අතර ජනතාවට නිවසේ රැඳී සිටින ලෙස රජය දැනුම් දුන්නේය.

පළාත් පාලන ආයතන දැඩි අධිෂ්ඨානයෙන් වෛරසය ආසාධිත පුද්ගලයන් හා තිබුණු සම්බන්ධතා ලුහුබැඳ ගියේය. ආසාධිත රෝගීන් සමඟ සම්බන්ධතා තිබූ සියලු දෙනාමේ පාහේ ඉතා ඉක්මණින් සොයා ගෙන හුදකලා කෙරිණි.

මෙම ක්‍රමවේදය සාර්ථක වූ අතර මාර්තු මැද වන විට දෛනික වාර්තා වන නව ආසාධිත සංඛ්‍යාව දිනකට එකක් හෝ දෙකක් දක්වා පහත වැටී තිබුණි. මෙලෙස රෝගීන් අඩුවෙන් වාර්තාවීමත් සමඟ මාර්තු 19 වැනිදා එම දූපතට පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් කරන ලද අතර අප්‍රේල් මස මුලදී පාසල් නැවත විවෘත කරන ලදී.

නමුත් හදිසි තත්ත්වය ඉවත් කර දින 26කින් පසුව නැවතත් තත්ත්වය නරක අතට හැරෙමින් පවතී.

පසුගිය සතියේ හොකයිඩෝ දූපතෙන් නව ආසාධිත රෝගීන් 135ක් හමුවී තිබේ. පෙබරවාරියේ ඇති වූ පළමු ආසාධිත රැල්ලේ විශේෂත්වය වූයේ ආසාධිතයන් වැඩි පිරිසක් දූපතට පිටින් පැමිණි අය වීමය. මෙම අවස්ථාවේ වෛරසය පිටින් පැමිණි බව කියන්නට තවමත් සාධක හමුවී නැත.

තහවුරු කෙරුණු රෝගින්ගෙන් විදේශිකයන් වන කිසිවකුත් නොමැති අතර ආසාධිත කිසිවෙකු ජපානයෙන් පිට සංචාරය නොකළ අය බව සඳහන් වෙයි.

හොකයිඩෝ හී වෛරසය පැතිරීම මුලින් වළක්වාගත්තේ කෙසේද?

පළමුවෙන් වෛරසයේ පැතිරීමට වඩා  වේගවත් ආකාරයෙන් ක්‍රියාමාර්ග ගැනීම මගින් මෙය පාලනය කරගත හැකිය.

"වෛරසය ආසාධිත සමූහ හඳුනාගැනීම, සම්බන්ධතා අනාවරණය කරගැනීම සහ හුදකලා කරගැනීම මගින් මෙය පහසු වනු ඇත" යැයි ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හී මහාචාර්ය කෙන්ජි ෂිබූයා පැවසීය.

"අසාධිත සමූහයන් හඳුනාගැනීම සහ පාලනය කිරීම අතින් බලධාරීන්ට සාර්ථක වුණා.එවිට ජපානය සිටියේ වෛරසය පැතිරීමේ ඉතාමත් මුල් අවධියේය. මෙම සිද්ධි මාලාව එම දූපතට පමණක් අදාළ වූ අතර එය ඉතා සාර්ථක කතාවක් බවට පත්වුණා."

පැතිරීම අවම කරගැනීමේ ක්‍රියාමාර්ග සාර්ථක බව මුලින් පෙනෙන්න⁣ට තිබිණි.

හොකයිඩෝ දූපතේ සිද්ධිය දකුණු කොරියාවේ තේගු නගරයේ සිදුවීම හා බලන කල සමානතා කිහිපයක් ඇත.එහිදි ආගමික ස්ථානයකට පිරිස් එක්රැස්වීම නිසා වෛරසය පැතිරුණු බව සඳහන් විය. කෙසේ වෙතත් ඉතා ඉක්මණින් එම සිද්ධියට අදාළ ආසාධිතයන් හඳුනාගෙන ඔවුන් හුදකලා කර පැතිරීම මැඩ පැවැත්වීය.

නමුත් හොකයිඩෝ තත්ත්වය ඊට වඩා ඍණාත්මක ය.

තේගු සිද්ධියෙන් පසු දකුණු කොරියානු රජය වෛරසයේ පැතිරීම හඳුනාගැනීම සඳහා පුළුල් සහ දැවැන්ත පරීක්ෂණ ක්‍රමවේදයක් ආරම්භ කළේය. නමුත් ජපානය ක⁣ළේ මීට ප්‍රතිවිරුද්ධ දෙයකි.

පළමු රෝගියා වාර්තා වීමෙන් මාස තුනකින් පසුව අදටත් ජපානය පරීක්ෂණ සිදු කරන්නේ එරට ජනගහනයෙන් ඉතා අඩු ප්‍රතිශතයකට පමණි.

මුල් අවස්ථාවේදී එරට රජය පැවසූවේ මහා පරිමාණ පරීක්ෂණ "සම්පත් නාස්ති කිරීමක්" බවයි. නමුත් දැන් එම ස්ථාවරය මදක් වෙනස් කර පරීක්ෂණ කඩිනම් කරන බව ප්‍රකාශ කර තිබේ. නමුත් යම් හේතු නිසා මෙම පරීක්ෂණ ක්‍රමවේදය මන්දගාමී වී තිබේ.

කොරෝනා වෛරසයට ධනාත්මක නමුත් සුළු රෝග ලක්ෂණ සහිත රෝගීන්ගෙන් රෝහල් පිරී යනු ඇතැයි පළමුවෙන් ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය බිය විය. පරීක්ෂණ පුළුල් ලෙස පැවැත්වීම දේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන වල වගකීම වුවද එය ජාතික මට්ටමෙන් නොවීය.

පුළුල් ලෙස පරීක්ෂණ කිරීම සඳහා මෙම දේශීය සෞඛ්‍ය මධ්‍යස්ථානවල ප්‍රමාණවත් කාර්යමණ්ඩල හෝ අවශ්‍ය වෛද්‍ය ආම්පන්න නොතිබිණි.

දේශීය දුරකථන ජංගම සේවා පවා කාර්යබහුල මට්ටමකට පැමිණියේය.වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීම පවා දැඩි අපහසු කාර්යයක් විය.

මහාචාර්ය ෂිබූයා පවසන්නේ මෙවන් හේතු නිසා පෙනී යන්නේ වෛරසය ජනගහනය අතර පැතිරෙන ආකාරය පිළිබඳ ජපාන බලධාරීන්ට නිසි අදහසක් නොතිබූ බවයි.

"අපි මේ ඉන්නේ වෛරසය අධික ලෙස පැතිරයන අවධියකයි.හොකයිඩෝ වලින් ගන්න පුළුවන් උදාහරණය තමයි පළමු අවස්ථාවේදී වෛරසය මැඩපැවැත්වමීම සාර්ථක වූවත් පරීක්ෂණ පුළුල් නොකර මෙම සාර්ථකත්වය දීර්ඝ කාලයකට රඳවාගැනීමට නොහැකි බවයි.වෛරසය ප්‍රජාව අතර පැතිරීම සහ රෝහල්වල පැතිරීම හඳුනාගැනීමට අපහසුයි" ඔහු පැවසීය. 

යායුතු මග

මෙහි තුන්වැනි කරුණ නම් "අලුත් සත්‍යයට" අනුව ගොඩක් පිරිස් බලාපොරොත්තු වන ආකාරයට වඩා මෙය මැඩපැවැත්වීමට තව කල් ගතවෙන බවයි.

අනෙක් රටවලට වඩා ජපානයේ කොරෝනා ලොක්ඩවුන් සීමාවන් මෘදු වුවත් හොකයිඩෝ දූපතට නැවතත් සීමාවන් පැනවීමට සිදුව තිබේ.

බොහෝ අය තවමත් වැඩට යන අතර ඇතැම් පාසල් වසාදමා තිබුණත් වෙළෙඳසල් සහ මත්පැන්හල් විවෘතව තිබේ.

දැඩි ක්‍රියාමාර්ග නොමැතිව "දෙවැනි රැල්ල" ලෙස හඳුන්වන වෛරසයේ මෙම නැවත පැතිරීම මැඩපැවැත්වීමට ජපානයට ඇති ඉඩකඩ ඉතා අල්ප බව මහචාර්ය ෂිබූයා පෙන්වා දෙයි.එය හොකයිඩෝවලට මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවලටද පොදු බව ඔහු පවසයි.

"ප්‍රධානම කරුණ නම් දේශීයව එක් ප්‍රාන්තයක මෙම වෛරසය මැඩපැවැත්වීම සාර්ථක වුණාට රටේ අනෙකුත් ප්‍රාන්තවල මෙම වෛරසය පැතිරෙන්න ඉඩ තියෙනවා.රට තුළ ජනතාව එහේ මෙහේ සංචාරය කරද්දී වෛරසයෙන් තොර තත්ත්වයක් ඇතිකරගැනීමට අපහසුයි"

තත්ත්වය එසේ වෙද්දී හොකයිඩෝහී ආර්ථික තත්ත්වය කඩා වැටෙමින් තිබේ.මෙම හොකයිඩෝ දූපත ප්‍රධාන වශයෙන් සංචාරක ක්ෂේත්‍රය මත යැපෙන දූපතකි.

ජපානය මේ වන විට ඇමෙරිකාව, යුරෝපය සහ ආසියානු රටවල් කිහිපයකට සංචාරක තහනමක් පනවා තිබේ.

අලුතින් පනවා තිබෙන හදිසි තත්ත්වය ජපානයේ "ගෝල්ඩන් වීක්" නිවාඩුව අවසන් වන මැයි 06 වැනිදායින් අවසන් වීමට නියමිතය.

නමුත් හොකයිඩෝ හී වෛරසය මැඩපැවැත්වීම සඳහා ක්‍රියාකරන රජයේ නිලධාරියකු පැවසූවේ හොකයිඩෝ හී මෙම සීමාවන් තවදුරටත් පැනවීමට සිදුවනු ඇති බවයි.

"අපිට මේක දිගටම කරන්න වෙයි කියලා දැනෙනවා. අරමුණ තමයි වෛරසය පැතිරෙන එක අවම කරගැනීම සඳහා මිනිස්සු අතර සම්බන්ධය අවම කිරීම." ඔහු පැවසීය.

මෙම තත්ත්වය කවදා වන තුරු පැනවීමට සිදුවේද? 

"එන්නතක් සොයාගන්නා තෙක්.අපිට පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි උත්සහයන් ගන්න වෙනවා." ඔහු සඳහන් ක⁣ළේය.

බීබීසී ඇසුරෙන්  

Cover photo: Getty Images

Share