කොරෝනා වසංගත අවදානම තවම මුළුමනින් පහව ගොස් නෑ - රජය

Staff Writer | Author . Translate to English or தமிழ் 18. 04. 2020 | 7.26pm
කොරෝනා වසංගත අවදානම තවම මුළුමනින් පහව ගොස් නෑ - රජය

කොරෝනා වසංගත අවදානම තවම මුළුමනින් පහව ගොස් නැති බැවින් වෛරස ව්‍යාප්තියට යළි ඉඩ නොලැබෙන පරිදි සියලු සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් වගකීමෙන් සහ ඉවසීමෙන් ක්‍රියා කරන්නැයි රජය ඉල්ලා සිටී.

රජය මේ බව ඉල්ලා සිටියේ රජයේ සහ පෞද්ගලික ආයතන නැවත ආරම්භ කිරීම සහ ප්‍රවාහනය සිදුවිය යුතු ආකාරය ගැන නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනය පහත දැක්වෙයි.

පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති සහ සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම් දෙන තුරු වසා තැබිය යුතුය.

ඇඳිරි නීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු සංස්ථා, බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකව තැබේ.

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත රාජ්‍ය ආයතනවල සේවක පිරිසෙන් 1/3 ක් සේවයට වාර්තා කළ යුතුය.

සෙසු දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයෙන් සේවයට වාර්තා කළයුතු පිරිස 50% කි. 

සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන කාර්ය මණ්ඩල සාමාජිකයන් නිවසේ සිට සිය රාජකාරි ඉටු කළ යුතු බව නියම කර ඇත. 

එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළ යුතු සේවක සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන. 

යම් දවසක කාර්ය මණ්ඩලයෙන් සේවයට කැඳවන 1/3 ට සහ 50% ට අයත් පිරිස වෙනුවට ඊළග දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ආයතන ප්‍රධානීන්ට නිදහස තිබේ.

කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදී කොරෝනා වෛරසය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුලුමනින්ම අනුගමනය කළ යුතුය. සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම ආයතන ප්‍රධානියාගේ වගකීමකි.

පෞද්ගලික අංශයේ ආයතන උදේ 10.00ට විවෘත කරන ලෙස නියම කෙරේ. පෞද්ගලික ආයතනවල සේවයට වාර්තා කළ යුතු සංඛ්‍යාව සහ පැමිණිය යුතු සේවකයන් කවුරුන්ද යන්න ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතුය. මේ ආයතන ද සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති කොරෝනා පාලන පිළිවෙත් අකුරටම පිළිපැදිය යුතු වන්නේය.

යළි විවෘත කෙරෙන කාර්යාලවල සේවකයන්ගේ ගමන් පහසුව සැලසීමට ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සේවාව විධිවිධාන සැලසිය යුතුය. රජයේ සෙසු ආයතනවල සේවයට වාර්තා කරන සංඛ්‍යාව සීමා කළද රාජ්‍ය ප්‍රවාහන සේවාවන්හි සහ අත්‍යාවශ්‍ය සේවාවන්හි සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා කිරීම අනිවාර්ය වේ.

බස් රථ, වෑන් රථ හෝ දුම්රිය මැදිරිවල ගමන් කළ යුත්තේ ඒවායේ මුළු ධාරිතාවෙන් අඩක් පමණ වන මගීන් සංඛ්‍යාවකි. සියලු වාහන ද විෂ බීජ හරණයට ලක් කළ යුතුය. මේ කොන්දේසිවලට යටත්ව සිය සේවා යළි ආරම්භ කරන්නැයි රජය පෞද්ගලික ප්‍රවාහන ආයතනවලින් ඉල්ලා සිටී.

සියලු ආකාර උත්සව, වන්දනා සහ විනෝද චාරිකා, සැණකෙළි, පෙරහැර, රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇත. ජනයා ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගනු ලැබූයේ ජනතාව මේ මරණීය වසංගතයෙන් මුදා ගැනීමේ ඒකායන අරමුණ ඇතිවය.

අනුගමනය කළ දැඩි ක්‍රියාමාර්ග නිසා අත්කර ගත් ප්‍රගතිය ඇඳිරි නීතිය ලිහිල් කිරීමට ඉවහල් විය. ආර්ථිකය යළි පණ ගැන්වීම සහ අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූ දිළිඳු සහ අවදානමට ලක්ව ඇති ජන කොටස්වල ජිවිතය සුරක්ෂිත කිරීම තවත් අරමුණකි.

එසේ වුවද කොරෝනා වසංගත අවදානම තවම මුළුමනින් පහව ගොස් නැත. එබැවින් වෛරස ව්‍යාප්තියට යළි ඉඩ නොලැබෙන පරිදි සියලු සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් වගකීමෙන් සහ ඉවසීමෙන් ක්‍රියා කරන්නැයි රජය ඉල්ලයි.

Share