චීනය මරණ සංඛ්‍යාව වෙනස් කරයි: වූහාන් මරණ සංඛ්‍යාව 50%කින් ඉහළ දමයි

Staff Writer | Author . Translate to English or தமிழ் 17. 04. 2020 | 4.02pm
චීනය මරණ සංඛ්‍යාව වෙනස් කරයි: වූහාන් මරණ සංඛ්‍යාව 50%කින් ඉහළ දමයි

වූහාන් නගරයේ මරණ සංඛ්‍යාව 1290කින් ඉහළ දැමීමට චීන බලධාරීන් කටයුතු කළ බව බීබීසීය පවසයි.

එය පෙර පැවති සංඛ්‍යාවෙන් සියයට 50ක ඉහළ යාමකි.පෙර එම නගරයේ මරණ සංඛ්‍යාව ලෙස සටහන් වූයේ 2579ක් ලෙසයි. 

මරණ සංඛ්‍යාව ගැන කිසිදු අයුරකින් වසන් කිරීමක් සිදු නොවූ බවත් මෙම සංඛ්‍යාව ඉහළ යාමට හේතුව වෛරසය පැතිර ගිය කාලයේ රෝහල්වලින් එපිට සිදුවූ මරණ බවත් එරට බලධාරීහූ පැවසූහ.

වෛරසයේ බරපතලකම වසන් කිරීම සම්බන්ධයෙන් චීනයට චෝදනා එල්ල විය.

මෑතකදී ඉවත් කෙරුණු ලොක්ඩවුන් සීමාවන් මධ්‍යයේ මිලියන 11ක වූහාන් වැසියෝ මාස කිහිපයක් ජීවත් වූහ. 

මෙම ඉහළ යාමත් සමග වූහාන් නගරයේ මරණ සංඛ්‍යාව 3869 දක්වාත් චීනයේ මුළු මරණ ගණන 4600 දක්වාත් ඉහළ ගොස් තිබේ.

මරණ සංඛ්‍යාව වැඩි වීම ගැන චීනයේ පැහැදිලි කිරීම

සිකුරාදා නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ "සිර ගෙවල් සහ අවමංගල්‍ය කළමනාකරණ නිවාසවල දත්ත ඇතුළුව විවිධ මූලාශ්‍රවලින් ලැබුණු නව දත්ත හේතුවෙන් මෙලෙස මරණ ගණන වැඩි කිරීමට සිදුවූ" බවයි.

නිවෙස්වල මිය ගිය පුද්ගලයන් ඇතුළුව රෝහලෙන් පිටතදී වෛරසය නිසා සිදුවු මරණ මීට පෙර වාර්තා කර නොතිබුණු බවද එම නිවේදනයේ දැක්වෙයි.

“සංඛ්‍යාලේඛන ඉහළ දැමීම” මගින් බලධාරීන් විසින් “කොවිඩ් -19 වසංගතය පිළිබඳ තොරතුරු විවෘත, විනිවිදභාවයකින් යුත් සහ දත්ත නිවැරදි බව සහතික කිරීමට” දැරූ උත්සාහයක් බව ද එම නිවේදනය සඳහන් කරයි.

චීන සෞඛ්‍ය පද්ධතිය මුලදී තිබූ ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් සමහර දත්ත වැරදියට වාර්තා වී ඇති බවත් සමහර අවස්ථාවල එකම මරණය වරකට වඩා ගණන් කර ඇති බවත් ඇතැම් අවස්ථාවලදී සමහර මරණ සම්පූර්ණයෙන්ම මග හැරී ඇති බවත් එම නිවෙිදනයේ දැක්වෙයි.

මුල් අවධියේදී පරීක්ෂණ ධාරිතාවයේ හිඟයක් හේතුවෙන් ආසාදිත රෝගීන් බොහෝ දෙනෙකු ගණන් කිරීමට නොහැකි වූ බව සඳහන් වෙයි.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශකයෙකු වන මයි ෆෙන්ග් පැවසුවේ නව මරණ සංඛ්‍යාව නිකුත් කෙරුණේ වසංගත දත්ත පිළිබඳ පුළුල් සමාලෝචනයක් මගින් බවයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මාධ්‍ය හමුවලදී වඩාත් දැඩි ලෙස ඉදිරිපත් කරන "වසන් කිරීම" පිළිබඳ චෝදනා සනාථ නොවන බව එරට විදේශ අමාත්‍යංශය සිය දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. 

"අපි කිසි විටෙකත් සැඟවීමට ඉඩ දෙන්නේ නෑ" යනුවෙන් ප්‍රකාශකයෙක් පැවසීය.

බීබීසීය ඇසුරෙන් 

Cover Photo : Associated press

Share