නයිජීරියාවේ කොරෝනා මරණ ගණනට වඩා ලොක්ඩවුන් අතරතුර ආරක්ෂක අංශ කළ 'ඝාතන' ඉහළ යයි

Staff Writer | Author . Translate to English or தமிழ் 17. 04. 2020 | 6.24am
නයිජීරියාවේ කොරෝනා මරණ ගණනට වඩා ලොක්ඩවුන් අතරතුර ආරක්ෂක අංශ කළ 'ඝාතන' ඉහළ යයි

කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා වන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී නයිජීරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ආරක්ෂක අංශ අතින් ඝාතනය වී ඇති බවත් එය කොරෝනා වෛරසයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගන්නා බවත් එරට මානව හිමිකම් කොමිසම පවසයි.

නයිජීරියාවේ ප්‍රාන්ත 36 න් 24ක සහ අගනුවර වන අබුජා හි ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 105 ක් ලැබී ඇති බව එරට ජාතික මානව හිමිකම් කොමිසම බදාදා නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම පැමිණිලි අතුරින් තහවුරු කරන ලද නීති විරෝධී මිනීමැරුම් සිද්ධීන් අටක් සම්බන්ධයෙන් වාර්තා ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

අබුජාහි අල් ජසීරා වාර්තාකරු අහමඩ් ඉඩ්‍රිස් පැවසුවේ මියගිය අයගෙන් අට දෙනෙක් වයඹදිග කඩුනා ප්‍රාන්තයේ නිලධාරීන් විසින් ඝාතනය කරනු ලැබ ඇති බවයි.

තවද හත් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට චෝදනා එල්ල වූ අතර මරණ දෙකක් සම්බන්ධයෙන් හමුදාව වගකිව යුතු බවට චෝදනා එල්ල වෙයි. ලොක්ඩවුන් සීමාවන් බලාත්මක කරන ප්‍රාදේශීය කමිටුවක් එක් පුද්ගලයෙකු ඝාතනය කිරීමට වගකිව යුතු බවට ද චෝදනා එල්ල වී තිබේ.

COVID-19 මරණ සංඛ්‍යාවට වඩා මෙම ඝාතන සංඛ්‍යාව වැඩි බව එම කොමිසම සඳහන් කර ඇත.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව එරට තුළ කොරෝනා මරණ 12 ක් සහ තහවුරු වූ කොරෝනා රෝගීන් 400 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙයි.

"බලාත්මක කිරීමේ රෙගුලාසි හේතු කොට ගෙන නීතිය ක්‍රියාත්මක කරන නියෝජිතයන් විසින් 18 දෙනෙකු නීති විරෝධී ලෙස ඝාතනය කරන ලදී." එම කොමිසම පැවසීය.

අධික ලෙස හෝ අසමාන ලෙස බලය යෙදවීම, බලය අයුතු ලෙස භාවිතා කිරීම, දූෂණය සහ ජාතික හා ජාත්‍යන්තර නීති නොපිළිපැදීම සම්බන්ධයෙන් ⁣එම කොමිසම ආරක්ෂක නිලධාරීන්ට චෝදනා එල්ල කරයි.

"ලොක්ඩවුන් කිරීම අතරතුර නයිජීරියාවේ ප්‍රාන්ත කිහිපයක කරන ලද හිරිහැර කිරීම් සම්බන්ධයෙන් ආරක්ෂක හමුදාවන්ට චෝදනා එල්ල වෙලා තියෙනවා.ආරක්ෂක නිලධාරීන් විසින් අපයෝජන කිහිපයක් සිදු කර ඇති බවට වාර්තා වෙනවා. අල්ලස් ඉල්ලීම හැරුණු විට මිනිසුන්ට කරන ලද හිරිහැර කිරීම් ගැනද වාර්තා වෙනවා."යැයි අල්ජසීරා වාර්තා කරු අහමඩ් ඉඩ්‍රිස් ප්‍රකාශ ක⁣ළේය.

නයිජීරියාවේ අබුජා, වාණිජ අගනුවර වන ලාගෝස් සහ අසල්වැසි ඔගුන් ප්‍රාන්තය තුළ සම්පූර්ණ ලොක්ඩවුන් සීමාවන් ක්‍රියාත්මක කර තිබේ. වෛරසය පැතිරීම අවම කිරීම සඳහා වෙනත් ප්‍රදේශවල ද සීමාවන් පනවා තිබේ.

මෙම සීමාවන් බලාත්මක කිරීම සඳහා පොලීසිය සහ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ යොදවා ඇති අතර සමහර ප්‍රාන්තවල මාරාන්තික ගැටුම් ද ඇති වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෑන්ක් එම්බා ඒඑෆ්පී ප්‍රවෘත්ති පුවත් සේවයට පවසා ඇත්තේ කිසිදු අපයෝජනයකට හෝ උල්ලංඝණ කිරීමකට තම නිලධාරීන්ට කිසිම සමාවක් නොදෙන බවයි. මෑතකදී සිවිල් වැසියෙකුගෙන් කප්පම් ගත් නිලධාරියෙකුට ද දඬුවම් කර එම මුදල අයිතිකරුට ආපසු ගෙවූ බව ද ඔහු පැවසීය.

"වෘත්තීයමය වශයෙන් සහ ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූලව" ලොක්ඩවුන් සීමාවන් පොලීසිය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

නයිජීරියානු ආරක්ෂක අංශ සිවිල් වැසියන්ට සිදුකරන හිරිහැර සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර අයිතිවාසිකම් සංවිධාන දිගු කලක් තිස්සේ චෝදනා කළ නමුත් එරට ආරක්ෂක අංශ එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ලාගෝස් හී ලොක්ඩවුන් කිරීමත් සමග දරිද්‍රතාවයෙන් ජීවත් වන මිලියන ගණනකට තම ආදායම් අහිමි වීම හේතුවෙන් අපරාධ හා නොසන්සුන්තාවන් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය බිය පළ කරයි.

අල්ජසීරා ඇසුරෙන්

Cover Photo : Aljazeera 

Share