කොරෝනා ගැන අසත්‍ය සටහන්වලට Like - Comment කළාද? : ෆේස්බුක් සමාගමෙන් අනතුරු ඇඟවීමක්

Staff Writer | Author . Translate to English or தமிழ் 17. 04. 2020 | 5.26am
කොරෝනා ගැන අසත්‍ය සටහන්වලට Like - Comment කළාද? : ෆේස්බුක් සමාගමෙන් අනතුරු ඇඟවීමක්

කිසියම් කෙනෙක් තම ෆේස්බුක් ගිණුම හරහා අසත්‍ය තොරතුරු පතුරුවා ඇත්දැයි අදාළ පරිශීලකයන් වෙත දැනුම් දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ෆේස්බුක් සූදානම් වී තිබේ.

වෛරසය පිළිබඳ හානිකර අසත්‍ය තොරතුරු සහිත ෆේස්බුක් පෝස්ට් වලට Like, Reaction හෝ Comment පළ කර ඇත්ද යන්න ෆේස්බුක් සමාගම තම පරිශීලකයන් වෙත ඉක්මණින් දැනුම් දීමේ ක්‍රමවේදයක් මෙලෙස ඉතා කඩිනමින් හඳුන්වාදෙනු ඇත.

අසත්‍ය තොරතුරු සහිත පෝස්ට්වලට මේ අයුරින් ප්‍රතිචාර දැක්වුවන්ට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Factcheck කරනු ලැබූ (සත්‍ය බවට පරීක්ෂා කරන ලද) වෛරසය පිළිබඳ මිත්‍යා මතවල සත්‍ය තොරතුරු වෙත යොමු කරනු ඇතැයි පැවසේ.

වෛරසය ගැන අසත්‍ය තොරතුරු හුවමාරු වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවලට චෝදනා එල්ලවී ඇති අතර එම වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට සමාජ මාධ්‍ය ජාල සමාගම් දැනටමත් කටයුතු ආරම්භ කර තිබේ.

ෆේස්බුක් සමාගම කියා සිටියේ ඉදිරි සති කිහිපය තුළ ෆේස්බුක් පරිශීලකයන්ට මෙලෙස අනතුරු ඇඟවීමේ පණිවිඩ නිකුත් කිරීමට පටන් ගන්නා බවයි. කොරෝනා වෛරසය සමඟ පැතිරී යන භයානක අසත්‍ය තොරතුරු රැල්ල මැඩපැවැත්වීමට කටයුතු කිරීම සඳහා ෆේස්බුක් සහ වෙනත් සමාජ මාධ්‍ය ජාල දැනටමත් පියවර ගෙන ඇත.

කොරෝනා වෛරසයට ප්‍රතිකාර කරන බවට හෝ සුව කරන බවට පොරොන්දු වෙමින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ව්‍යාජ දැන්වීම් ෆේස්බුක් සමාගම විසින් තහනම් කරනු ලැබීය.

මෙි වන තෙක් එවැනි ප්‍රතිකාර කිසිවක් සොයාගෙන නොමැති අතරම එන්නතක් සංවර්ධනය කිරීම සඳහා ගෝලීය තරඟයක් තිබුණද තවම තහවුරු කරන ලද එන්නතක් හෝ මෙතෙක් නිපදවා නොමැත.

ෆේස්බුක් සමාගම ඇල්ගොරිතම වෙනස් කරමින් සහ තොරතුරු පිටුවක් හරහා ගෝලීය සෞඛ්‍ය සංවිධානවලින් මෙන්ම රාජ්‍ය හා ප්‍රාදේශීය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවලින් වෛරසය පිළිබඳ ලබාදෙන සත්‍ය තොරතුරු පරිශීලකයින් වෙත ලබාදීමට දැනටමත් උත්සාහ කර තිබේ.නමුත් එමගින් අසත්‍ය තොරතුරු පැතිරීම සම්පූර්ණයෙන් නතර වී නැත.

වෛරසයේ මූලාරම්භය පිළිබඳ කුමන්ත්‍රණකාරී න්‍යායන් සහ එය වැළැක්වීම සඳහා නිපදවන එන්නත් පිළිබඳ තවමත් දිනපතා ෆේස්බුක් හරහා හුවමාරු වෙයි. සත්‍ය බවට තහවුරු නොකළ ප්‍රතිකාර සහ සුව කිරීම් ප්‍රවර්ධනය කරන පෝස්ට් හෝ වීඩියෝ දහස් ගණන් පැතිරී තිබේ.

නිදසුනක් ලෙස, ක්ලෝරීන් ඩයොක්සයිඩ් මගින් වෛරසය විනාශ කරන බවට වූ සාවද්‍ය ප්‍රකාශයක් ෆේස්බුක් භාවිතා කරන්නන් 200,000 කට ආසන්න පිරිසක් බලා තිබූ බව අන්තර්ජාල අසත්‍ය තොරතුරු ගැන පර්යේෂණ කරන Avaaz ආයතනය කළ නව අධ්‍යයනයක් මගින් පෙන්වා දී ඇත.

Fact checking කරන ආයතන මගින් අසත්‍ය සහ නොමග යවන සුළු බවට සලකුණු කර තිබියදීත් මිලියන ගණන් නැරඹු කොරෝනා වෛරසය පිළිබඳ අසත්‍ය තොරතුරු ඇතුළත් ෆේස්බුක් පොස්ට් 100 කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම කණ්ඩායම විසින් සොයාගෙන තිබේ.

Fact checking කරන ආයතන විසින් අසත්‍ය යැයි ප්‍රකාශ කර තිබියදීත් අසත්‍ය බවට ලේබල් නොවූ ෆේස්බුක් පෝස්ට් ද තිබූ බව Avaaz ආයතනය පවසයි.  

ෆේස්බුක් සමාගම මෙලෙස නොමඟ යවන සුළු සහ අසත්‍ය තොරතුරු පිළිබඳ සත්‍ය පරීක්‍ෂා කිරීම සඳහා ලොව පුරා ප්‍රවෘත්ති සංවිධාන සමඟ හවුල් වී ඇති අතර ඇසෝසියේටඩ් ප්‍රෙස් යනු එම කරුණු පරීක්ෂා කිරීමේ වැඩසටහනේ කොටසකි.

“කොරෝනා වෛරසය ගැන අසත්‍ය තොරතුරු ෆේස්බුක්හි වර්තමාන පද්ධතියට හසු කරගැනීමට නොහැකි වන අයුරින් අන්තර්ගතය වෙනස් වෙමින් වේගයෙන් පැතිරෙයි” යනුවෙන් Avaaz සිය වාර්තාවේ සඳහන් කරයි.

සමාජ මාධ්‍යවල ව්‍යාජ තොරතුරු දැඩි ලෙස මාරාන්තික ය. පසුගිය මාසයේදී ඉරාන මාධ්‍ය වාර්තා කළේ ⁣⁣වෛරසයට පිළියමක් ලෙස හුවාදක්වමින් තොරතුරු හුවමාරු වීමත් සමග මෙතනෝල් පානය කිරීමෙන් 300 කට අධික පිරිසක් මියගොස් 1,000 ක් පමණ අසාධ්‍ය වී ඇති බවයි. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කොන්සර්වේටිව් පාක්ෂිකයන් COVID-19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ප්‍රකාශ කරන ලද මැලේරියා ඖෂධයක් වන chloroquine සඳහා භාවිත කරන chloroquine phosphate ගැනීමෙන් පසුව ඇරිසෝනා හි පුද්ගලයකු ද මිය ගියේය. එම ඖෂධය කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් ලෙස ආරක්ෂිත හෝ ඵලදායී බව ඔප්පු වී නොමැති බව සෞඛ්‍ය නිලධාරීහු අනතුරු ඇඟවූහ.

USA Today ඇසුරෙන්

Share