පාස්කු විමර්ශන අවසන් කිරීම ගැන පොලිසියෙන් ඉඟියක්

Staff Writer | Author . Translate to English or தமிழ் 15. 04. 2020 | 7.32pm
පාස්කු විමර්ශන අවසන් කිරීම ගැන පොලිසියෙන් ඉඟියක්

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රේගු නිලධාරියකු, නීතීඥවරයකු ඇතුළු තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

ඉදිරියේදී සාර්ථක පියවර කිහිපයක් ගෙන විමර්ශන අවසන් කිරීමට බලාපොරොත්තු වෙන බව ද ඒ මහතා කීවේය.

ජාලිය සේනාරත්න මහතා මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ය. මෙම මාධ්‍ය හමුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා ද සහභාගී විය.

''මේ පිරිස අතර නීතිඥවරයෙක් ඉන්නවා. රේගු නිලධාරියෙක් ඉන්නවා. තවත් සැකකරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ඊට අමතරව හිටපු අමාත්‍යවරයකුගේ සහෝදරයකු වන බදුර්දීන් මොහොමඩ් රියාජ් බදුර්දීන් යන අය ඉන්නවා. '' යැයි ද ඔහු කීවේය.

රියාජ් බදුර්දීන් යන සැකකරු සෘජුව සම්බන්ධතා පවත්වා තිබෙනවා එක් බෝම්බකරුවෙක් සමඟ. ඒවගේම තොරතුරු අනාවරණය වෙලා තියෙනවා එක් බෝම්බකරුවෙක් සමඟ බෝම්බය පිපිරවීමට ආසන්න කාලයකදී එක්තරා ප්‍රසිද්ධ හෝටලයක එකට ඉඳලා සාකච්ඡා කරලා තියෙන බව. ඒවගේම විශේෂ සුබසාධක සමිති සමාගම් ඇති කරලා ඒ සමාගම්වල මේ බෝම්බකරුවන් සමඟ එකට නිලතල දරමින් කටයුතු කරලා තියෙනවා අපි ඊයේ අත්අඩංගුවට ගත්තු සැකකරුවන්. ඒවගේම ඒ සමාගම්වල මේ බෝම්බකරුවන් මුදල් ආයෝජනය කරලා තියෙනවා කියලා තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා. ඉඩම් ඒ සංවිධානවලට පරිත්‍යාග කළා කියලා තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒ සෑම තොරතුරක් ඔස්සේම මේ වන විට තවදුරටත් විමර්ශන පවත්වාගෙන යෑම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.'' යැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් 119 දෙනෙක් අත්අඩංගුවට අරගෙන විමර්ශන කරනවා. ඒ වගේම ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සැකකරුවන් 78 දෙනෙක් අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ විමර්ශනයේ තව සාර්ථක පියවර කිහිපයක් ඉදිරියේදි අරගෙන විමර්ශනය කඩිනමින් අවසන් කිරීම සඳහා. '' යැයි ද අධ්‍යක්ෂවරයා කීවේය.

ප්‍රශ්නය - අත්අඩංගුවට ගත්තු නීතීඥවරයාට තිබෙන චෝදනා මොනවාද?

පිළිතුර - ඒ නීතීඤවරයා බෝම්බකරුවන් දෙදෙනෙක් සමඟ සම්බන්ධතා පවත්වලා තිබෙනවා කියලා තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒවගේම ඒ බෝම්බකරුවන් සමඟ එක්තරා සංවිධාන කිහිපයකට සම්බන්ධ වෙලා නිලතල දරමින් ඔවුන් සමඟ ගනුදෙනු කරලා තිබෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් සැලසුම් කිරීම සම්බන්ධයෙන් යම් යම් සම්බන්ධතා හඳුනාගෙන තිබෙනවා. ඒ ඔස්සේ විමර්ශන පවත්වාගෙන යනවා.

ප්‍රශ්නය - ඉඩම් පරිත්‍යාග කළා කිව්ව එක ගැන පැහිදිලි කරන්න පුලුවන්ද?

පිළිතුර - එක සංවිධානයකට බෝම්බකරුවෙක් ඉඩමක් පරිත්‍යාග කරලා තිබෙනවා. තවමත් ඒ ඉඩමේ තමයි සංවිධානය පවත්වාගෙන යන්නේ.

ප්‍රශ්නය - මීට කලින් සැකකරුවන් අත්අඩංගුවට අරං තිබ්බේ නීතිපති ලබා දුන් උපදෙස් අනුව. මේ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් දීලා තිබෙනවද? ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ කවදාද?

පිළිතුර - දැනට මේ අත්අඩංගුවට ගත්තු සැකකරුවන් ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ රඳවාගෙන විමර්ශන කරන්න කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් අපිට නීතිපති දෙපාර්තමේන්තුවේ සහෝගය අවශ්‍ය වුණොත් අපි ඒ සඳහා කටයුතු කරනවා.

ප්‍රශ්නය - ඔවුන් අද හෝ හෙට අධිකරණයට ඉදිරිපත් කරනවද?

පිළිතුර - ඔබ දන්නවා මේ විමර්ශනයේ සංකීරණ බව. අපිට අද හෝ හෙට හෝ ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. නමුත් අපි විශ්වාස කරනවා පුලුවන් තරම් ඉක්මනට මේ විමර්ශන අවසන් කරන්න අවස්ථාව උදාවෙයි කියලා.

ප්‍රශ්නය - කලින් කිව්වා විමර්ශන කලින් හරියට කළේනැති නිසා විමර්ශන අඩපන වුණා කියලා. ඒ නිලධාරීන් සම්බන්ධයෙන් දැනට අරගෙන තියන ක්‍රියාමාර්ග මොනවද?

පිළිතුර - පොලිස් විශේෂ විමර්ශන ඒකකය යටතේ විමර්ශනයක් පවත්වාගෙන යනවා. මේක සංකීරණ විමර්ශනයක්. ඒ සංකීර්ණ බව නිසාම විමර්ශනයේ අඩුපාඩු හොයාගන්න එකත් සංකීර්ණ කාරණයක්. ඒකට යම්කිසි කාලයක් අවශ්‍ය වෙනවා. පොලිස්පතිවරයා වාර්තාවක් ඉල්ලා තිබෙනවා ඉදිරි සතියක කාලයේදී නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා.

ප්‍රශ්නය - හිටපු ඇමැති රිෂාඩ් මේකට සම්බන්ධයි කියලා තොරතුරු අනාවරණය වෙලා තිබෙනවද?

පිළිතුර - දැනට එතුමාගේ සහෝදරයෙක් ඒකට සම්බන්ධයි කියලා තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා. තවදුරටත් අපි විමර්ශන පවත්වනවා. අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේකේ වගකීම කාටද කියන එක මිසක් ඔහුගේ තරාතිරම හෝ කරන වෘත්තිය හෝ සමාජයේ දරන තත්ත්වය අදාල නෑ.'' 

Share