කොරෝනා පරීක්ෂණය නොමිලේ කරන්නැයි ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෞද්ගලික රෝහල්වලට නියෝග

Staff Writer | Author . Translate to English or தமிழ் 11. 04. 2020 | 3.47pm
කොරෝනා පරීක්ෂණය නොමිලේ කරන්නැයි ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෞද්ගලික රෝහල්වලට නියෝග

කොවිඩ් 19 පරීක්ෂණ සඳහා රෝගීන්ගෙන් ගාස්තු අය නොකරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාගාරවලට නියෝග කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට අනුව අනුමත රජයේ රසායනාගාරවල හෝ අනුමත පෞද්ගලික රසායනාගාරවල කොවිඩ් -19 සම්බන්ධ පරීක්ෂණ නොමිලේ සිදුවිය යුතුය.

NABL පිළිගැනීම සහිත විද්‍යාගාරවල හෝ WHO හෝ ICMR විසින් අනුමත කරන ලද ඕනෑම ආයතනයක කොරෝනා වෛරස් පරීක්ෂණ සිදු කළ යුතු බව ද අධිකරණය වැඩිදුරටත් පැවසීය.

මෙම විද්‍යාගාර දරණ වියදම රජය විසින් පසුව ලබාදිය යුතුද යන ප්‍රශ්නය පසුව තීරණය කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

"ජාතික අර්බුදයක් ඇති වේලාවක පරිත්‍යාගශීලි සේවාවන් ලබාදීම මගින් වසංගතයේ පැතිරීම පාලනය කිරීම සඳහා රසායනාගාර ඇතුළු පෞද්ගලික රෝහල්වලට වැදගත් කාර්යභාරයක් පැවරී තිබේ" යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේ කොවිඩ් -19 පරීක්ෂණ පවත්වන පෞද්ගලික රසායනාගාර මහජනතාවගෙන් අධික ගාස්තු අය නොකරන යාන්ත්‍රණයක් රජය නිර්මාණය කළ යුතු බවත් රජය විසින් එම විද්‍යාගාර විසින් අය කරනු ලබන ගාස්තු ලබාදිය යුතු බවත් ය.

රටේ සියලුම පුරවැසියන්ට කොවිඩ් -19 සඳහා නොමිලේ පරීක්ෂණ පහසුකම් ලබා දෙන ලෙස මධ්‍යම රජයට සහ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා අධිනීතිඥ ශෂාන්ක් ඩියෝ සුදි විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග ලබාදුන්නේය.

කොවිඩ් -19 මිල අධික බැවින් විද්‍යාගාර මගින් නොමිලේ පරීක්‍ෂණ කළ යුතු බව සුධී විනිසුරු මඩුල්ලට පැවසීය.

රජය වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් තුෂාර් මේතා කියා සිටියේ මෙය වර්ධනය වෙමින් පවතින තත්වයක් බවත් මේ අවස්ථාවේ දී රජය විසින් රසායනාගාර කීයක් අවශ්‍ය වේද යන්න සහ දැනට පවතින ලොක්ඩවුන් ක්‍රමවේදය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි නොදන්නා බවයි.

India Today ඇසුරෙන් 

Cover Photo : PTI
Share