ඉබෝලා ගැන අවසන් නිවේදනයට පෙර අයෙක් මරුට

Staff Writer | Author . Translate to English or தமிழ் 11. 04. 2020 | 8.13am
ඉබෝලා ගැන අවසන් නිවේදනයට පෙර අයෙක් මරුට

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) ඉබෝලා රෝගය වැළඳුණ නව ⁣රෝගියකු තහවුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

සිකුරාදා (10) මෙම නිවේදනය නිකුත් වූයේ එරට විශාලතම වසංගතය අවසන් බවට ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයකට පෙරය.

එරට බෙනී නම් නගරයෙන් වාර්තා වූ මෙම රෝගියා බ්‍රහස්පතින්දා උදෑසන රෝහලකදී මිය ගොස් ඇති අතර ඉන් දින කිහිපයකට පෙර රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව වාර්තා වේ.

“මූලික තොරතුරු වලින් පෙනී යන්නේ ඔහු බෙනී ප්‍රදේශයේ 26 හැවිරිදි පුද්ගලයෙකු බවයි” යනුවෙන් වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා පත්කරනු ලැබූ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

"අපගේ කණ්ඩායම්, ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන්, පරීක්ෂණ පුළුල් කිරීමට සහ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට දැනටමත් සූදානම්ව සිටිනවා."

පෙබරවාරි 17 සිට සිකුරාදා (10) වන තෙක් එරට කිසිම රෝගියකු ලියාපදිංචි වී සිටියේ නැත.

2018 අගෝස්තු මාසයේදී ආරම්භ වී 2200කට අධික පිරිසක් මරණයට පත් කළ මෙම ඉබෝලා වසංගතය අවසන් බවට ප්‍රකාශයට පත් කිරීමට කොංගෝ රාජ්‍යය ඉරිදා සැලසුම් කළේය.

"⁣කිසිදු ආසාධිතයකු වාර්තා නොවී දින 52 කට පසු භූමියේ නිරීක්ෂණ සහ ප්‍රතිචාර කණ්ඩායම් නව ආසාධිතයකු තහවුරු කර තියෙනවා. අපි තවත් රෝගීන් සඳහා සූදානම් වෙමින් සිටිනවා" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ට්විටර් සටහනක් නිකුත් කරමින් කියා සිටියේය.

 "අවාසනාවකට මෙන්, මෙයින් අදහස් කරන්නේ අපේක්ෂා කළ පරිදි සඳුදා කොංගෝ රජයට ඉබෝලා වසංගතය අවසන් කිරීමට නොහැකි වනු ඇති බවයි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් එරට රැඳී සිටින අතර මෙම වසංගතය පැතිරීම අවසන් කිරීමට කොංගෝ රජය, බලපෑමට ලක්වූ ප්‍රජාවන් සහ අපගේ හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට කැපවී සිටිනවා"

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ බලපත්‍ර නොමැති නමුත් පරීක්ෂා කරන ලද එන්නත් භාවිතය රෝගීන් අවම කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවයි.

Aljazeera ඇසුරෙන්

Cover Photo : Hugh Kinsella Cunningham/EPA]

Share