අලුත් අවුරුද්ද පවුලේ අයට පමණක් සීමා කරන්නැයි ඉල්ලයි

Staff Writer | Author . Translate to English or தமிழ் 08. 04. 2020 | 5.37pm
අලුත් අවුරුද්ද පවුලේ අයට පමණක් සීමා කරන්නැයි ඉල්ලයි

අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සෙසු සියළු දිස්ත්‍රික්කවල හෙට (09) උදේ 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලබන බවත් මේ දිස්ත්‍රික්කවල එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 06.00 ට ඉවත් කර එදිනම සවස 04.00  සිට නැවත ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු  ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. 

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ද එම මාධ්‍ය අංශය කියයි.

කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇති බවද සඳහන් වෙයි.

කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල  හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ.  කවරකුට හෝ එම ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

Share