චීනයට එරෙහිව ඇමෙරිකාවෙන් මිනීමැරුම් නඩු?

Staff Writer | Author . Translate to English or தமிழ் 07. 04. 2020 | 11.47pm
චීනයට එරෙහිව ඇමෙරිකාවෙන් මිනීමැරුම් නඩු?

කොරෝනා වසංගතයත් සමග පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) නිෂ්පාදන අපනයනය කිරීම චීනය තහනම් කිරීමට එ⁣රෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ජනාධිපති ට්‍රම්ප්ගේ නීතිඥයෙක් පැවසීය.

පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) නිෂ්පාදන අපනයනය කිරීම චීනයෙන් තහනම් කළ බව එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය ආරක්ෂණ උපකරණ නිෂ්පාදකයින් ධවල මන්දිරයට දැනුම් දී තිබේ.

මේ හරහා චීනය ලෝක වෙළෙඳපොළ කොටු කරගැනීමට උත්සහ කර ඇති බවද ඔවුන් දැනුම් දී ඇතැයි  නිව්යෝර්ක් පෝස්ට් ‌වෙබ් අඩවිය පවසයි. 

ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ කමිටුවේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශක ජෙනා එලිස් පැවසුවේ අපරාධ නීතියේ දී මෙය මිනීමැරීමට සමාන වරදක් බවයි.

"මිනිස්සු මැරෙනවා. චීනය මෙන් හිතාමතාම පෙර සැලසුම් කර සිදුකරන මෙවන් දරුණු ක්‍රියා පළමු මට්ටමේ මිනීමැරුමක් ලෙස සලකන්න පුළුවන්.මේ වෙද්දි සලකා බලමින් සිටින ක්‍රියාමාර්ග අතරට යුරෝපීය මානව හිමිකම් අධිකරණයට පැමිණිල්ලක් ගොනු කිරීම හෝ “එක්සත් ජාතීන් හරහා”  ක්‍රියාමාර්ගයක් ගැනීම ද ඇතුළත් වෙනවා" එලිස් පැවසීය.

ජනවාරි මාසයේ දී චීන රජය විසින් එරට කර්මාන්තශාලාවල නිපදවන N95 මුඛ ආවරණ, බූට් සපත්තු, අත්වැසුම් සහ වෙනත් සැපයුම් අපනයනය කිරීම අවහිර කළ බවට 3M සහ Honeywell හි විධායකයින් පැවසූ බව ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

චීනය නිෂ්පාදකයින්ට ඔවුන්ගේ තොග මිල ගණන් ගෙවූ නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනත් කිසිවෙකුට විකිණීම තහනම් කළ බව එම නිලධාරියා පැවසීය.

අන්තර්ජාලය ඔස්සේ පළ කරන ලද නිල දත්ත වලින් පෙනී යන්නේ චීනය PPE අපනයනය කඩාකප්පල් කළ අවස්ථාවේදීම, ජනවාරි 24 සිට පෙබරවාරි 29 දක්වා කාලය තුළ “වසංගත වැළැක්වීමේ සහ පාලන ද්‍රව්‍ය” බිලියන 2.46 ක් ආනයනය කර ඇති බවයි.

ඩොලර් බිලියන 1.2 කට ආසන්න වටිනාකමකින් යුත් මෙම ආම්පන්න අතරට යුරෝපා සංගමයේ රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය සහ කාම්බෝජය වැනි රටවලින් ගෙන්වූ මුඛ ආවරණ බිලියන 2 කට වැඩි ප්‍රමාණයක් සහ “ආරක්‍ෂිත ඇඳුම්” මිලියන 25 කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් බව එම නිලධාරියා පැවසීය.

“චීනයේම රේගු ඒජන්සි දත්ත මගින් පෙනී යන්නේ ලෝකයේ විශාලතම PPE නිෂ්පාදකයා වන චීනය අපනයන සීමා කරමින් සිටින අතරම මෙලෙස PPE ද්‍රව්‍ය දැවැන්ත ලෙස මිල දී ගැනීම හරහා ලෝක වෙළඳ‌ෙපොළ කොටු කර ගැනීමට උත්සහ දරා ඇති බවයි"නිලධාරියා පැවසීය.

ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සිය වෙනුවෙන් එන් 95 මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමට ප‍්‍රමුඛත්වය දෙන ලෙස මිනසෝටා හි M3 සමාගමට නියෝග කිරීමට ට්‍රම්ප් පසුගිය සතියේ ආරක්ෂක නිෂ්පාදන පනත භාවිත කළේය.

එක්සත් ජනපද-චීන ආර්ථික හා ආරක්ෂක සමාලෝචන කොමිෂන් සභාවේ ආරම්භක සාමාජික මයිකල් වෙසෙල් මෙම කරුණු සනාථ කළ අතර චීනය උපක්‍රම මගින් ඇමරිකානු රෝහල්වල PPE හිඟයක් ඇති කළ බව කියා සිටියේය.

"වසංගතය සමඟ කටයුතු කිරීම සඳහා මෙවැනි ද්‍රව්‍යවල ඉල්ලුම ඉහළ යමින් තිබූ මොහොතක පවා චීනය සියළුම නිෂ්පාදන තමන්ගේ ප්‍රයෝජනය සඳහා යොදා ගනිමින් සිටිනවා"ඔහු කීය.

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සහ ට්‍රම්ප් පරිපාලනවල හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික හා වෙළඳ උපදේශක ක්‍රිස්ටියන් විටන් විස්තර කළේ චීනයේ මෙම PPE පාලනය  “දේශපාලන යුද්ධයක්” ලෙස යි.

“මීට පෙර අපනයනය පමණක් සිදු කළ එරට කර්මාන්ත ක්ෂේත්‍රය සහ චීන රජයේ සම්බන්ධීකරණයෙන් දැන් සියලුම අපනයන තහනම් කර ඇතුවා පමණක් නොව ඒවා ආනයනය ද කරමින් සිටිනවා” යැයි විටන් පැවසීය.  

"මට වඩාත්ම සිත්ගන්නා කරුණ නම්, අප මෙම අර්බුදයට මුහුණ දෙන විට සැලකිලිමත් වීම පමණක් නොව වෛරයත් තියෙනවා. චීනය ගැන කොංග්‍රසයේ වෛරය මෙන්ම චීනය කුමන ආකාරයකින් හෝ වැරදිකරු බවට ඇමරිකානු ජනතාව තුළ වෛරයකුත් ඇති වෙනවා."

Honeywell සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පළමු කාර්තුවේදී චීනය COVID-19 වෛරසයේ වඩාත් උග්‍ර ප්‍රතිවිපාක අත්විඳිමින් සිටි බැවින් චීනයේ තම කර්මාන්ත ශාලාවල නිෂ්පාදිත මුඛ ආවරණ චීනයේ භාවිතය සඳහා යොදාගත් බවයි. වෛරසය පැතිරීම පුරාවට N95 මුඛ ආවරණ නිෂ්පාදනය තම සමාගම කළමනාකාරිත්වයේ පාලනය යටතේ පැවති බවද එම සමාගම පැවසීය.

3M සමාගම අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වූ නමුත් පසුගිය සතියේ එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, "චීනයේ 3M කර්මාන්තවල  නිෂ්පාදනය කරන N95 මුඛ ආවරණ මිලියන 10ක් ඇමෙරිකාවට අපනයනය කිරීම සඳහා චීනයෙන් අනුමැතිය ලබාගෙන ඇති” බවයි.

මූලෝපාය හැසිරවීම් සම්බන්ධයෙන් ට්‍රම්ප් යටතේ හිටපු නිලධාරීයෙක් මෙන්ම “War Room: Pandemic,” පෝඩ්කාස්ට් වැඩසටහනේ ස්ටීවන් බැනන් පැවසුවේ චීන රජයේ හැසිරීම “biological Chernobyl” හා සමාන බවයි.(චර්නොබිල් ව්‍යසනය යනඅ 1986 අප්‍රියෙල් 26 සෙනසුරාදා සිදු වූ න්‍යෂ්ටික අනතුරකි) 

"මෙම වෛරසය මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බවත් වසංගතයක් ඇති වන බවත් වටහා ගත් මොවුන් ඒ සමගම එක්සත් ජනපදය, බ්‍රසීලය ඇතුළු රටවලත් යුරෝපයේත් සෑම PPE ද්‍රවය්‍යක්ම  ගෙන්වාගත්තා ” මීට පෙර චීනයේ ෂැංහයි නුවර ජීවත් වූ බැනන් කීය.

“ඔවුන් බටහිර සමඟ යුද්ධයක යෙදී සිටිනවා. මෙම කථාව මගින් චීන පුරවැසියන් කටයුතු කරන ආකාරය ලොවට පෙන්වනු ඇත, ”ඔහු පැවසීය.

වොෂිංටන් ඩී.සී. හි චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීය.

Share