කොරෝනා නිසා පිරිමින් මිය යෑම වැඩියි : එංගලන්ත වෛද්‍යවරියක පැහැදිලි කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 06. 04. 2020 | 11.30pm
කොරෝනා නිසා පිරිමින් මිය යෑම වැඩියි : එංගලන්ත වෛද්‍යවරියක පැහැදිලි කරයි

කාන්තාවන්ට වඩා පිරිමින් නව කොරෝනා වෛරසයෙන් මිය යන බවට දත්ත වාර්තා පෙන්නා දෙන්නේ යැයි අල් ජසීරා පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙලෙස පිරිමින් මියයාමට වැඩි ඉඩක් ඇති බවට සැක කෙරෙන හේතු කිහිපයක් එංගලන්තයේ වෛද්‍යවරියක වන සාරා කයාත් මෙලෙස පැහැදිලි කරයි. ඇය එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේව⁣යේ (NHS) වෛද්‍යවරියකි.

" මෙම විෂමතාවය මුලින්ම සටහන් වූයේ චීනයේ වන අතර, මරණ අනුපාතය සලකා බලන විට වෛරසය වැළඳුණු පිරිමින්ගෙන් සියයට 2.8 ක් මියගොස් ඇති අතර රෝගය වැළඳුණ කාන්තාවන්ගෙන් මිය ගියේ සියයට 1.7ක් වැනි ප්‍රතිශතයකි.

මෙය ඉතාලියේ ද නැවත සිදුවූ අතර මේ වන විට එරට මුළු මරණ අනුපාතය වන 11.3%න් 7.2%ක්ම පිරිමි වන අතර මුළු මරණ අනුපාතයෙන් 4.1%ක් කාන්තාවන්ය.

දකුණු කොරියාවේ පුළුල්ව පරීක්ෂණ සිදු කළ අතර වෛරසය සඳහා ධනාත්මක වූ කාන්තාවන්ගේ ප්‍රතිශතය පිරිමින්ට වඩා ඉහළ මට්ටමක පවතින බව පෙන්නුම් කළද, වාර්තා වූ මරණවලින් සියයට 54 ක්  පිරිමිය.

කොරෝනා වෛරසය ස්ත්‍රී පුරුෂ අසමානතාවය පෙන්නුම් කළ පළමු අවස්ථාව මෙය නොවේ.

දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) සහ මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) ද පිරිමින්ට වැඩි වශයෙන් බලපාන බව සොයා ගන්නා ලදී.

පිරිමි මීයන් SARS වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බව විද්‍යාගාර පරීක්ෂණ මගින් සොයාගෙන තිබිණි. 

ප්‍රශ්නය නම්, කාන්තාවන්ට වඩා පිරිමින් කොරෝනා වයිරසයෙන් මියයාමට හේතුව කුමක්ද යන්නයි.  විද්‍යාඥයින්ට තවමත් නිශ්චිත පිළිතුරක් ලබා දීමට නොහැකි වී ඇති නමුත් ඉදිරිපත් වී ඇති න්‍යායන් කිහිපයක් තිබේ.

සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාව

එක් න්‍යායක් නම්, නිදන්ගත රෝග වර්ධනය වීම සම්බන්ධ සෞඛ්‍ය සම්පන්න නොවන පුරුදු වලට පිරිමින් වැඩි වශයෙන් පුරුදු වී සිටින බවයි.

COVID-19 වලින් වඩාත් දරුණු ලෙස පීඩා විඳි අයට රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි සෞඛ්‍ය තත්වයන් ඇති බව හෙළි වී තිබේ.

මෙම තත්වයන් පිරිමින් අතර බහුලව දක්නට ලැබෙන බවත්, එබැවින් COVID-19 පිරිමින්ට වඩාත් මාරාන්තික බවත් පෙනී යයි.ජීවන රටාව සහ ඔවුන්ගේ එදානෙදා තේරීම් නිසා මෙම තත්ත්වය ඇති වන බවද පෙනී යයි.

මෙම තේරීම් අතර මත්පැන් සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය ප්‍රධාන තැනක් ගනී.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 2015 දී රැස් කරන ලද දත්ත වලින් පෙනී යන්නේ පිරිමින් කාන්තාවන්ට වඩා පස් ගුණයක් පමණ මත්පැන් පානය කරන බවත් පිරිමින්  කාන්තාවන්⁣ට වඩා පස් ගුණයක්  දුම් පානය කරන බවත් ය.

දුම්පානය කරන්නන්ගේ ශ්වසන සෞඛ්‍ය ඉතා දුර්වලවීම නිසා කොරෝනා වෛරසය වැළඳුණහොත් ශ්වසන අපහසුතා සහ නියුමෝනියාව වැනි සංකූලතා ඇතිවීමේ අවදානමක් ඇතැයි සැලකේ.

වෛරසය මගින් උග්‍ර විය හැකි පෙනහළු රෝගයක් වන නිධන්ගත පෙනහළු අවහිර වීමේ රෝගය වැනි ශ්වසන රෝග සහිත වීමේ අවදානමද පිරිම්න් සතුය.

අත මුඛයේ තැබීම, අත් සේදීමකින් තොරව දුම්වැටි ඇල්ලීම හෝ දුම්වැටිය අන් අය සමග බෙදා ගැනීම වැනි ක්‍රියා නිසා දුම් පානය කරන්නන්ට වෛරසය වැළඳීමට වැඩි ඉඩක් ඇත.

චීනයේ කරන ලද අධ්‍යයනයන් මගින් තහවුරු වී ඇත්තේ පිරිමින්ගෙන් 50%ක් දුම්පානය කරන නමුත් කාන්තාවන්ගෙන් දුම්පානය කරන්නේ  3%ක් පමණක් බවයි.

එබැවින් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ විෂමතාවය පැහැදිලි කළ පළමු වැන්න මෙම දුම් පානය කිරීමේ න්‍යාය වීම පුදුමයක් නොවේ.

කෙසේ වෙතත්, වෙනත් රටවලින් තවත් දත්ත ලැබීමත් සමග සමඟම මෙම වෙනස මුළුමනින්ම පැහැදිලි කිරීමට මෙය තවදුරටත් ප්‍රමාණවත් නොවේ. 

මෙයට හේතුව දුම්පානය කරන සංඛ්‍යාව යම්තාක් සමාන වන (පිරිමින් මිලියන 7 ක් හා කාන්තාවන් මිලියන 4.5 ක් දුම් පානය කරන) ඉතාලියේත් වැඩි පිරිමින් සංඛ්‍යාවක් කොරෝනා වෛරසයෙන් මියයාමට සම්පූර්ණ හේතුව පැහැදිලි කිරීමට එයට නොහැකි වීමයි.

අත් සේදීම

සබන් සමඟ අත් සේදීම රෝග පාලනය සඳහා වඩාත්ම ඵලදායි මැදිහත්වීමක් ලෙස සලකනු ලබන අතර, ආසාදනය වීමේ අවදානම අවම කර ගත හැකි එක් ක්‍රමයක් ලෙස උණුසුම් වතුරින් සහ සබන් යොදා අත් සේදීම හැඳින්විය හැකිය.

කෙසේ වෙතත් පිරිමින් කාන්තාවන්ට වඩා අත්වල සනීපාරක්ෂාව සම්බන්ධයෙන් දුර්වල බවට අධ්‍යයන මගින් පෙන්වා දී තිබේ.

එක්සත් ජනපදයේ 2009 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ පොදු වැසිකිළි භාවිතා කිරීමෙන් පසු කාන්තාවන් 65%ක් අත් සෝදන නමුත් පිරිමින්ගෙන් සියයට 31 ක් පමණක් අත් සෝදන බවයි. කාන්තාවන් අත් සේදීමේදී සබන් භාවිතා කිරීමට වැඩි ඉඩක් ඇති බවද ඉන් කියැවිණි.

නමුත් කොවිඩ්-19 වෛරසය වැළඳුණු කාන්තාවන්ගේ සංඛ්‍යාව සහ පිරිමින්ගේ සංඛ්‍යාව සමානය, ගැටළුව වන්නේ ඉන් වැඩි පිරිමින් සංඛ්‍යාවක් මිය යාමය.එමනිසා, අත් සේදීමේ විෂමතාව පිරිමින්ගේ මරණ අනුපාතය වැඩි වීමට හේතුවක් නොවේ.

සහය නොගැනීම

පිරිමින්ගේ සෞඛ්‍ය සාක්ෂරතාවය සහ හැසිරීම කාන්තාවන්ගේ හැසිරීමට වඩා බෙහෙවින් වෙනස් ය.

පිරිමින්ට වෛද්‍යවරයකු හමුවට යන්නේ ඉතා අඩුවෙන් වන අතර අසනීප බව පිළිගැනීමට හෝ අසනීප වූ විට සහය ලබාගැනීම ඉතා අඩුය.

අධ්‍යයනවලින් පෙනී යන්නේ මෙම වෙනසට හේතුව සෞඛ්‍ය ගැටළු පිළිබඳ කාන්තාවන් තේරුම් ගැනීම සහ අවදානම් දැරීම පුරුෂ ලක්ෂණයක් වීමය.

එම නිසා මීට එක් හේතුවක් වන්නේ ස්ත්‍රී-පුරුෂ යන දෙපාර්ශ්වයටම එක හා සමානව වෛරසය වැළඳී ඇති නමුත් කාන්තාවන් ඉතා ඉක්මණින් වෛද්‍ය උපකාර ලබා ගැනීම සහ පිරිමින් ඔවුන්ගේ රෝග ලක්ෂණ දරුණු වන තෙක් බලා සිටීමය.

එමඟින් එවැනි පිරිමින්ගේ පැවැත්ම අවදානමට ලක්වෙයි.

ප්‍රතිශක්තිකරණ පද්ධති ප්‍රතිචාරය

මීට පෙර පැතිරුණ කොරෝනා වෛරස් ඇතුළු වෙනත් වෛරස පිළිබඳ අධ්‍යයනයන්ගෙන් පෙනී යන්නේ කාන්තාවන් පිරිමින්ට වඩා වෛරසයට ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් දක්වන බවයි.

මෙයින් අදහස් කරන්නේ කාන්තාවන් සාමාන්‍යයෙන් ආසාදිත වෛරසයේ ප්‍රමාණය අඩු කිරීමට ඉක්මන් ප්‍රතිචාර දක්වන බවයි.

මෙම වඩාත් කාර්යක්ෂම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයේ අවාසනාවන්තබාවය නම් එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන් ස්වයං ප්‍රතිශක්තිකරණ තත්වයන්ගෙන් පීඩා විඳීමට ඇති ඉඩකඩ වැඩිය.

රෝග කාරකයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීමේදී වඩා කාර්යක්ෂම වීමට අමතරව කාන්තාවන්ගේ ශරීරය වැඩි “ස්වයං ප්‍රතික්‍රියාකාරී” ප්‍රතිදේහ නිපදවීමටද ඉඩ ඇත.මින් ශරීරයේ පටක වලට පහර දීමේ අවදානමක්ද ඇති ස්වයං ප්‍රතිශක්තිකරණ තත්වයක් ඇති කරයි.

පිරිමි ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මන්දගාමී අඩු කාර්යක්ෂම ප්‍රතිචාරය වෛරසය පිරිමින්ට වැඩි බලපෑමක් ඇති කරන හේතුවලින් එකකි.

හෝමෝන

ස්ත්‍රීන් හා පුරුෂයන් අතර ප්‍රතිශක්තිකරණ වෙනස සඳහා එක් හේතුවක් වන්නේ හෝමෝනය.

අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ඔසප් චක්‍රයේ විවිධ අවස්ථා වලදී සිදුවන හෝමෝන සාන්ද්‍රණයේ වෙනස්වීම් සමඟ වෛරස්වලට එරෙහි ප්‍රතිශක්තිය වෙනස් වන බවයි.

එය ගර්භණී සමයේදී, ඔසප් වීමෙන් පසු සහ ගැබ්ගැනීම් වැළැක්වීම වැනි කරුණු මගින් බලපෑමට ලක්විය හැකි බව පෙනී යයි. 

එබැවින් කාන්තා හෝමෝන මෙම වෛරසයේ ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවයට අර්ධ වශයෙන් හේතු වන බව සිතිය හැකිය.

මෙම න්‍යායාත්මක වෙනස 2002 සිට 2003 දක්වා SARS පැතිරීමේදී සත්ව අධ්‍යයනයන්හි දී පර්යේෂණය කරන ලදී.

පර්යේෂකයන් විසින් ස්ත්‍රී හෝමෝනය වන ඊස්ට්‍රජන් නිපදවන ස්ත්‍රී - මීයන්ගේ ඩිම්බ කෝෂ ඉවත් කර හෝ එස්ටජන් වල බලපෑම අවහිර කරන රසායනික ද්‍රව්‍යයක් එන්නත් කිරිමෙන් පසු එම මීයන් SARS වෛරසයට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉතා වැඩි වූ අතර ඉන් මීයන්ගේ මරණ අනුපාතය ද වැඩි විය.

මෙයින් ඇඟවෙන්නේ SARS ආසාදිත මීයන් තුළ ඊස්ටජන් ආරක්ෂිත බලපෑමක් ඇති කළ බවයි.

SARS වෛරසය සහ COVID-19 වෛරසය ජාන අනුක්‍රමයෙන් සියයට 79 ක් සමාන බැවින්, කොරෝනා වෛරසයේදී ද ඒ හා සාමානම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමට පුළුවනි.

X වර්ණදේහ

කාන්තාවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වීමට තවත් හේතුවක් වන්නේ කාන්තාවන්ට ඇති අතිරේක X වර්ණදේහයයි.

කාන්තාවන්ට X වර්ණදේහ දෙකක් (XX) ඇති අතර පිරිමින්ට ඇත්තේ එක් X වර්ණදේහයක් (XY) පමණි.

ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයට අදාළ යැයි සැලකෙන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය නියාමනය කරන සැලකිය යුතු ජාන සංඛ්‍යාවක් X වර්ණදේහයේ කේත වී ඇත.

මෙය න්‍යායාත්මක ය.කෙසේ වෙතත්,  X වර්ණදේහ 2ක් තිබීම යම් වාසියක් ලබා දෙනවා විය හැකිය.

COVID-19 වෛරසය වැඩි වශයෙන් පිරිමින්ට බලපාන්නේ ඇයිද යන්න පිළිබඳව තවමත් ස්ථිර පැහැදිලි කිරීමක් කර නොමැත.

ස්ත්‍රී පුරුෂ භාවයට බලපාන වෙනස්කම් සංකීර්ණ වන අතර එයට හේතුව චර්යාත්මක, ප්රතිශක්තිකරණ, හෝමෝන හා ජානමය සාධකවල එකතුවක් යැයි සැක කෙරෙයි."

අල්ජසීරා ඇසුරෙන් 

Cover Photo : Getty Images

Share