දිස්ත්‍රික් 19ක ඇඳිරි නීතිය අප්‍රේල් 9 යළි ලිහිල් කෙරෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 06. 04. 2020 | 4.44pm
දිස්ත්‍රික් 19ක ඇඳිරි නීතිය අප්‍රේල් 9 යළි ලිහිල් කෙරෙයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ ඉහළ අවදානම් සහිත කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල මේ වන විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සෙසු සියළු දිස්ත්‍රික්කවල අද(06) උදේ 6.00ට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබූ අතර මේ දිස්ත්‍රික්කවල එසේ යළි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අප්‍රේල් 09 උදේ 6.00ට ඉවත් කර එදිනම සවස 4.00ට යළි පනවන බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලබන බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී නියමයන් පිළිගෙන ඇඳිරි නීති කාලය තුළ නිවසේම රැඳී සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලබන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් කර තිිබේ.

- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 

Share