අරණායක ඇඳිරිනීය ගැන කතා බොරු : පොලිස් නිවේදනය ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය විකෘති කරලා

Staff Writer | Author . Translate to English or தமிழ் 06. 04. 2020 | 12.09pm
අරණායක ඇඳිරිනීය ගැන කතා බොරු : පොලිස් නිවේදනය ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය විකෘති කරලා

ගම්පහ, කොළඹ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට අද උදෑසන 6.00 ඇඳිරිනීතිය ලිහිල් කළ ද කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයට ඇඳිරිනීතිය ලිහිල් නොකළ බවට පළ වන වාර්තා අසත්‍ය බව MediaLK.com කළ සොයා බැලීමක දී තහවුරු විය.

අරණායක ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසිය ඊයේ (05) රාත්‍රී කරන ලද නිවේදනයක් වැරදි ලෙස අර්ථ දක්වමින් එම ප්‍රවෘත්ති පළ කර ඇතැයි අරණායක පොලිසියේ වගකිව යුතු නිලධාරියෙක් පැවසීය.

අරණායක පොලිස් වසමේ තරුණයකු හදිසියේ මරණයට පත්වී ඇති අතර ඔහුගේ සාම්පල පරීක්ෂණයක් සඳහා කොළඹට යවා තිබී ඇත. එහි ප්‍රතිඵල එනතුරු වැඩි ආරක්ෂාවට පොලිසිය අරණායක වැසියන්ගෙන් ඊයේ (05) රාත්‍රී ඉල්ලා ඇත්තේ ඇඳිරිනීතිය ඉවත් කළ ද කඩසාප්පු වසා දමන ලෙසත් නිවෙස්වලට වී සිටින ලෙසත්ය. ඇඳිරිනීතිය එම ප්‍රදේශයට ලිහිල් නොකරන බවක් පොලිසිය කියා නැත.

පොලිසියේ නිවේදනය මෙම වීඩියෝවේ දැක්වේ.  

වීඩියෝව සැපයූවේ අරණායක ප්‍රදේශවාසියෙකි

ඇතැම් විට මෙම තරුණයාට කොරෝනා ආසාධනය වී ඇත්නම් ඇඳිරිනීතිය ඉවත් කළ පසු මිනිසුන් එක්රැස්වීම අවධානම් බැවින් මෙම පොලිසිය මෙලෙස දැනුම් දී තිබේ.

මෙම නිවේදනයෙන් පසු අරණායක කිහිපදෙනකු සමාජ මාධ්‍යවල සටහන් යොදා තිබුණේ අරණායක ඇඳිරිනීතිය අද ලිහිල් නොකරන බවයි. ඒ අනුව ඊයේ රාත්‍රියේම අපි මේ සම්බන්ධයෙන් අරණායක පොලිසියෙන් විමසීමු. අරනායක පොලිසිය ඒ සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කළේය.

''අරණායකට ඇඳිරිනීතිය ලිහිල් කරන්නේ නෑ කියලා පොලිසිය කිව්වේ නෑ. පොලිසිය කිව්වේ ඇඳිරිනීතිය ලිහිල් කරන වෙලාවෙත් අත්‍යවශ්‍යදේකට හැර නිවාසවලින් පිටතට යන්න එපා කියලයි. ''

ප්‍රශ්නය - එහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවද?

පිළිතුර - ඔව්. අරණායක අවුරුදු 22ක තරුණයෙක් හදිසියේ මැරුණා. එයා මාර්තු 13 වෙනිදා කොළඹ ඉඳන් ගෙදර ගිහින් තිබුණේ. ඔහු අරණායකට ඇවිදිනුත් දැන් දවස් විසි ගණනක් වෙනවා. ඔහු කොළඹ ඉඳන් ඇවිත් තැන් කිහිපයකම ගිහින් තිබ්බා. ඔහු මැරුණේ කොරෝනා වලින් කියලා අපි කියන්නේ නෑ. ඔහුගේ සාම්පල කොළඹට යවලා තියනවා පරීක්ෂණයකට. ඉතින් අපි එහි ප්‍රතිඵල එනකම් ජනතාවට දැනුම් දුන්නා ගෙවල්වලට වෙලා ඉන්න කියලා. අපි ජනතාවගේ වැඩි හොඳටයි එහෙම කළේ. ඇඳිරිනීතිය ලිහිල් කරන්නේ නෑ කියලා අපි කිව්වේ නෑ. අත්‍යවශ්‍යම කටයුත්තකට විතරක් එළියට යන්න කියලා අපි කිව්වා. 

ප්‍රශ්නය - අරණායකට ඇඳිරිනීතිය ලිහිල් කරන්නේ නෑ කියන කතාව බොරු ද?

පිළිතුර - ඔව් බොරු. අරණායකටත් ඇඳිරිනීතිය උදේ 6.00ට ලිහිල් කරනවා. නමුත් අනවශ්‍ය විදියට ගෙවල්වලින් එළියට එන්න එපා කියලා දැනුම් දුන්නා.

ඒ අනුව අද උදෑසන අරණායකට ද ඇඳිරිනීතිය ලිහිල් කර තිබිණි. අරණායක ඇඳරිනීතිය දිගටම ක්‍රියාත්මක වූ බවට පළවන පුවත් අසත්‍ය බව පොලිසිය කියයි. පොලිසියේ ඉල්ලීම මත අරණායක බොහෝ දෙනෙක් නිවෙස්වලටම වී සිටියහ. 

මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා කිහිපයක් පහතින්...



Share