කොරෝනා නීති කැඩුවැයි පොලිසියේ වෙඩි පහරින් පිලිපීනයේ පුද්ගලයෙක් මරුට

Staff Writer | Author . Translate to English or தமிழ் 05. 04. 2020 | 5.41pm
කොරෝනා නීති කැඩුවැයි පොලිසියේ වෙඩි පහරින් පිලිපීනයේ පුද්ගලයෙක් මරුට

පිලිපීනයේ 63 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා පරීක්ෂණ මුරපොලක දී පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබේ.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පැනවූ ලොක්ඩවුන් සීමාවන් අනුගමනය නොකිරීම නිසා එරට පොලීසිය සිවිල් වැසියෙකුට වෙඩි තැබූ පළමු සිද්ධිය මෙයයි.

අදාළ පුද්ගලයා දෑකැත්තක් ද සමග පැමිණ ග්‍රාමීය නිලධාරීන්ට සහ පොලිසියට තර්ජනය කිරීමෙන් පසු මෙම වෙඩි තැබීම  සිදු වී ඇතැයි වාර්තා වූ බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

අගුසාන් ඩෙල් නොර්ටේහි නාසිපිට් නගරයේ මුරපොලක දී මෙය සිදුව ඇති අතර එම පුද්ගලයා බීමතින් සිට ඇතැයි විශ්වාස කෙරේ.

"මුඛ ආවරණයක් පැළඳ නොසිටීම නිසා සැකකරුට ග්‍රාමීය සෞඛ්‍ය සේවකයෙකු විසින් අවවාද කරනු ලැබුවා.නමුත් සැකකරු කෝපයට පත්වෙලා නිලධාරීන් කුපිත කරවන වචන පවසමින් කෑ ගැසුවා. අවසානයේදී දෑ කැත්තකින් නිලධාරීන්ට පහර දුන්නා." යැයි පොලිස් වාර්තාවක සඳහන් විය.

සැකකරු සන්සුන් කිරීමට තැත් කළ පොලිස් නිලධාරියෙකු අතින් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි ද කියැවේ.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පනවා ඇති ලොක්ඩවුන් ක්‍රමවේදය අනුගමනය නොකරන සහ නිලධාරීන්ට කරදර ඇති කරන ඕනෑම කෙනෙකුට වෙඩි තබන බවට එරට ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ බදාදා අනතුරු ඇඟවීය.

Cover photo :  [Anadolu Agency]

පෙර පුවත්

කොරෝනා මඩින්න පිලිපීන ජනපති කෑම ඉල්ලූ ජනතාවට වෙඩි තියන්න කියයි

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ලොක්ඩවුන් කර ඇති අතරතුර "කරදරයක් ඇති කරන ඕනෑම කෙනෙකුට වෙඩි තබා මරා දමන ලෙස" එරට පොලීසියට සහ හමුදාවට නියෝග කරන බවට පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අනතුරු අඟවා තිබේ.

"මෙය සැමට අනතුරු ඇඟවීමක් වේවා.  මේ අවස්ථාවේ දී රජය අනුගමනය කරන්න, අපට පිළිවෙලක් තිබීම අතිශයින් වැදගත් ” යැයි ඔහු බදාදා රාත්‍රියේ මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

"සෞඛ්‍ය සේවකයින්ට, වෛද්‍යවරුන්ට හානියක් නොකරන්න. මන්ද එය බරපතල අපරාධයක්. කවුරු හෝ කරදර ඇති කළහොත් හෝ නිලධාරීන්ගේ ජීවිත අනතුරේ දමනවානම් පොලිසියට සහ හමුදාවට මා දෙන නියෝගය වන්නේ ඔවුන්ට මැරෙන්නම වෙඩි තියන්න කියන එකයි."

"රජය බිය ගන්වන්න උත්සහ කරන්න එපා. රජයට අභියෝග කරන්නත් එපා. ඔබ පරාජය වනු ඇත," ඔහු පිලිපීන සහ ඉංග්‍රීසි භාෂාවෙන් පැවසීය.

ලොක්ඩවුන් ක්‍රමවේදය ආරම්භ වූ දා සිට තමන්ට ආහාර සහ වෙනත් සහනාධාර නොලැබුණු බව පවසමින් මැනිලා හි ක්විසන් නගරයේ පැල්පත් නිවාසවල පදිංචිකරුවන් පිරිසක් ඒ අසල අධිවේගී මාර්ගයක විරෝධතාවක් පැවැත්වීමෙන් පසුව ඩුටර්ටේගේ මෙම අනතුරු ඇඟවීම සිදු විය.

එම විරෝධතාවයේදී ග්‍රාමීය ආරක්ෂක නිලධාරීන් සහ පොලිසිය විරෝධතාකරුවන්ට නැවත සිය නිවෙස් කරා යන ලෙස ඉල්ලා සිටියද ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බව එරට පොලිසිය පවසයි.

පොලිසිය විරෝධතාව මැඩපවත්වා 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිලිපීනයේ COVID-19 රෝගීන් 2,311 ක් වාර්තා වී ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 96 දෙනෙකු මියගොස් තිබේ.

විරෝධතාකරුවන්ගේ කණ්ඩායමට නායකත්වය දුන් 47 හැවිරිදි ජොසි ලෝපෙස් පැවසුවේ, ලොක්ඩවුන් කිරීම හේතුවෙන් ඔවුන්ට ආහාර නොමැති නිසා විරෝධතාව පැවැත්වීමට සිදු වූ බවයි.

"කුසගින්න නිසා අපි උදව් ඉල්ලන්න ආවා. අපට කෑම, සිල්ලර බඩු හෝ මුදල් ලබා දී නැහැ. අපට වැඩක් නැහැ. අපි කාගෙන් උදව් ඉල්ලන්නද" ඇය අත්අඩංගුවට පත්වීමට පෙර පැවසුවාය.

තවත් නිවැසියක පැමිණිලි කළේ තම ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමත් සමඟ තමන්⁣ට ආහාර සොයාගැනීමට තවත් අරගලයක යෙදීමට සිදුවන බවයි.අනෙක් පවුල් වලත් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව ඇය කීවාය.

සමාජ ක්‍රියාකාරීන් රැසක් මෙම අත්අඩංගුවට ගැනීම් හෙළා දුටු අතර ලොක්ඩවුන් කිරීම මධ්‍යයේ රැකියාව අහිමිවූවන්ට සහ දුප්පත් පවුල්වලට උපකාර කිරීම සඳහා ඩොලර් බිලියන 4ක සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ යටතේ පොරොන්දු වූ මුදල් ආධාර ඉක්මනින් නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

"අධික ලෙස බලහත්කාරයෙන් හා රඳවා තබා ගැනීමෙන් පිලිපීන ජාතිකයින්ගේ බඩගින්න නිවෙන්නේ නැහැ. පොරොන්දු වූ මුදල් ආධාර අද වන තෙක් දුප්පතුන්ට ලැබුණේ නැහැ" යැයි කාන්තා අයිතිවාසිකම් කණ්ඩායමක් වන ගේබ්‍රියෙලා පැවසීය.

අත්අඩංගුවට ගත් අය නිදහස් කරන ලෙස ඉල්ලා අනෙකුත් නිවැසියන් පසුව රැළියක් පැවැත්වූ අතර එහිදි ඔවූහු"සමූහ අත්අඩංගුවට ගැනීම් නොව සමූහ පරීක්ෂණ කරන්න" (Mass tests not arrests) යනුවෙන් සඳහන් පෝස්ටර් අතැතිව සිටියහ.

ප්‍රධාන උතුරු පිලිපීන කලාපය වන ලුසොන්හි මිලියන 57 කට අධික ජනතාවක් සිටින අතර දැනට මාසයක් පුරා එම ප්‍රදේශ ලොක්ඩවුන් කර ඇත.  

එමෙන්ම මිලියන 100 කට අධික ජනතාවක් නිරෝධායනයකට යටත් කරමින් දිවයිනේ වෙනත් ප්‍රදේශවල පළාත් සහ නගර ප්‍රධානීන් ද ඔවුන්ගේ ප්‍රදේශවල මේ හා සමාන ක්‍රමවේදයන් ක්‍රියාවට නංවා තිබේ.


Share