ගාල්ලේ මරණ ගෙදරකට නොයැන්නැයි දැනුම්දීමක් : මරණය ගැන සැකයිලු

Staff Writer | Author . Translate to English or தமிழ் 05. 04. 2020 | 2.16pm
ගාල්ලේ මරණ ගෙදරකට නොයැන්නැයි දැනුම්දීමක් : මරණය ගැන සැකයිලු

ගාල්ල කරාපිටිය රෝහලේ දී මිය ගිය පුද්ගලයකුගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී නොවන ලෙස ගාල්ල පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සෞඛ්‍ය නිලධාරීන් ගාල්ල රිච්මන්ඩ් සිටි නිවාස සංකීර්ණයේ ජනතාවට දැනුම් දී තිබේ.

ඊට හේතුව වී ඇත්තේ එම මිය ගිය පුද්ගලයාට ශ්වසන ආබාධයක්ද පැවැති බවට ලැබුණු පැමිණිලි බව සෞඛ්‍ය අංශ සහ පොලිසිය කියයි.

මෙම පුද්ගලයා කළුතර දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, අවමඟුල ඇත්තේ ඔහුගේ දියණියකගේ ගාල්ලේ නිවසක බවත් පොලිසිය පවසයි.

මෙම අවමගුලට සහභාගී වීම සඳහා පැමිණීමට ඇඳිරිනීතිය අවසරපත් නිකුත් නොකරන ලෙස ද ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම්ට දැනුම් දී තිබේ. 

ප්‍රාදේශීය ලේකම්වරිය මෙසේ ප්‍රකාශ කරන්නීය.

''මේ ගැන පැමිණිල්ලක් ලැබුණු වහාම මා නිලධාරීන් යවා ස්ථානය පරීක්ෂා කරලා සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුම්වත් කළා. අවට සියලු දෙනාට මළ ගෙදර නොයන ලෙසත් ආරක්ෂිතව නිවෙස්වලට ම වී සිටින ලෙසත් දැනුම් දුන්නා. අපි හිතනවා මේ පුද්ගලයාට කොරෝනා නැහැ කියා නමුත් අනවශ්‍ය අවදානමක් ගැනීම නොකළ යුතු දෙයක්. ඒ වගේම දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම්ට කතා කරලා කිව්වා මළ ගෙදර එන්න ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කරන්න එපා කියලා. පිටින් එන අය සියලු දෙනා නැවැත්තුවා. මේ ගැන සෞඛ්‍ය අංශ අවශ්‍ය පියවර ගත යුතුයි."  

කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් කටයුතු සිදුවු ආකාරය සැක සහිත බව ප්‍රදේශවාසීහු කියති. මිය ගිය පුද්ගලයා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටිය දී සෙනසුරාදා මිය ගොස් ඇති බවත්, මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා නැති බවටත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා මේ සම්බන්ධයෙන් මෙසේ කියයි.

''මේ මරණය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙනවා. මා සෞඛ්‍ය අංශ සමග කතා කළා. ප්‍රදේශයේ ජනතාව ටිකක් කලබල වෙලා තියෙනවා. ඒ නිසා දේහය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සාම්පල යොමු කරන්නත් තීරණයක් තිබෙනවා. මේ නිසා අද දහවල් 2.00ට ආදාහනය කරන්න යොදාගෙන තිබුණත් අපි දන්වන තුරු දේහය ආදාහනය කරන්න එපා කියා මා ආදාහනාගාරයට උපදෙස් දුන්නා. අවසාන තිරණය ගැනීමේ අයිතිය තිබෙන්නේ සෞඛ්‍ය අංශවලට"   

ගාල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් ලංකාදීපයේ මාධ්‍යවේදියකුට මෙසේ ප්‍රකාශ කර තිබිණි.

''මේ ගැන අපිට පැමිණිලි කිහිපයක් ම ලැබුණා. වෛද්‍යවරු දේහය නිදහස් කරපු ආකාරය පවා ඇතැම් අය ප්‍රශ්න කරනවා. නමුත් අපිට ඒ ගැන කිසිවක් කිව නොහැකියි. මේ ස්ථානයේ දැනට කළුතරින් ඇවිත් පිරිසක් ඉන්නවා. අපි ගමේ අය දැනුම්වත් කරා මළ ගෙදරට නොයන්න කියා. ඒ වගේ ම වෙනත් පිටත කිසිවෙකුට මළ ගෙදරට ඒම‍ට ඉඩ දෙන්නේත් නැහැ. කළුතරින් මේ මරණයට අවසන් ගෞරව දැක්වීමට පිරිස් පැමිණෙනවා කියන ආරංචියක් තියෙන නිසා අපි කොළඹින් සහ කළුතරින් මේ ස්ථානයට පැමිණීම වළක්වන්න මාර්ග බාධක යෙදුවා. සිරුර සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සෞඛ්‍ය අංශවලට අදාල කාරණයක්. අපි ඔවුන් ගන්නා ක්‍රියාමාර්ගයකට සහයෝගය දෙනවා."

මේ සම්බන්ධයෙන් Medialk.com කළ විමසීමකදී කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ  පැවසුවේ මෙවැනි සිද්ධියක් වාර්තා වී නැති බවයි.

''ශ්වසන ආබාධ තියන හැමෝටම මරණ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය නෑ. මරණයට හේතුව වෛද්‍යවරුන් සඳහන් කරණවා නම් එය ඇති. මේ කියන කාරණාව ගැන තවමත් මට වාර්තා වෙලා නෑ.'' 

Cover Photo : Copied from tropicalexpat.wordpress.com

Share