ආසියාවේ විශාලතම පැල්පත් සංකීර්ණයටත් කොරෝනා : ප්‍රදේශය දැඩි අවදානම් : ජනගහනය මිලියනයක්

Staff Writer | Author . Translate to English or தமிழ் 04. 04. 2020 | 9.07pm
ආසියාවේ විශාලතම පැල්පත් සංකීර්ණයටත් කොරෝනා : ප්‍රදේශය දැඩි අවදානම් : ජනගහනය මිලියනයක්

ඉන්දියා⁣වේ මහාරාෂ්ට ප්‍රාන්තයේ මුම්බායිහි ධරාවි පැල්පත් නිවාසවල කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමක් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ධරාවි යනු ලෝකයේ විශාලතම පැල්පත් ප්‍රදේශවලින් එකක් වන අතර එය ආසියාවේ විශාලතම පැල්පත් නිවාස කලාපය ද වේ. 

මේ වන විට එම ප්‍රදේශයෙන් කොරෝනා වෛරස් රෝගීන්  හතර දෙනකු සහ එක් මරණයක් වාර්තා වී ඇත.

පටු මංතීරු, ගරාවැටුණු ගොඩනැගිලි, පැල්පත් සහ විවෘත මලාපවහන පද්ධතිවලින් යුත් වර්ග කිලෝමීටර් පහක පමණ වන ධරාවිහී ලක්ෂ 07 සිට මිලියනයක් දක්වා ජනතාවක් ජීවත් වෙන බවට ගණන් බලා තිබේ.

මහජන සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ එක කාමරයක දහ දෙනකු පමණ ජීවත් වන ධරාවි වැනි පැල්පත්වාසී ප්‍රදේශයක මෙම වෛරසය පැතිරී ගියහොත් මැඩපැවැත්වීම ඉතා අපහසු වනු ඇති බවයි.

ධරාවි වර්ග කිලෝමීටරයකට 270,000 ක පමණ ජන ඝනත්වයකින් යුත් අතර මේ නිසා සමාජ දුරස්ථභාවය කිසිදු අයුරකින් කළ නොහැකි බවද සෞඛ්‍ය බලධාරීහූ පවසති.

එම ප්‍රදේශයේ ජල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් ද හවුලේ භාවිත කරන බව අල්ජසීරා පුවත් සේවය කියයි.

ඉන්දියාව සම්පූර්ණයෙන් ලොක්ඩුවන් කර තිබියදීත් ධරාවිහී මෙලෙස රෝගීන් වැඩි වීම මගින් ඉන්දියාවේ මෙම වෛරසය ප්‍රජා සම්ප්‍රේෂණය වන බවට තහවුරු වන බව එම පුවත් සේවය පවසයි.

රෝගීන් වැඩි වූ ආකාරය

පළමු රෝගියා දිල්ලියේ පැවති ආගමික මෙහෙයකට සහභාගි වූ පිරිසක් සමග සම්බන්ධතා පැවැත්වූ 56 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු බාලිගා නගර් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.ඔහු අප්‍රේල් පළමු වැනිදා මිය ⁣ගියේය.

දෙවැනි රෝගියා එම ප්‍රදේශයේ වෛද්‍යවරුන් ජීවත්වන මහල් නිවාසයක සිටි 35 හැවිරිදි වෛද්‍යවරයෙකි.ධරාවි ප්‍රධාන මාර්ගයේ පිහිටි ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානය ද මේ වන විට මුද්‍රා තබා ඇත.

තුන්වැනි සහ සිව්වැනි රෝගියා වාර්තා වී තිබෙන්⁣නේ අද(04) දිනයේය.

30 හැවිරිදි කාන්තාවකට අද වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇති අතර ඇයට විදේශ සංචාරය කළ බවට ඉතිහාසයක් නොමැති බව ද කියැවේ.

මෙම කාන්තාව ධාරාවී ප්‍රදේශයේ පළමු රෝගියා වාර්තා වූ බාලිගා නගර් ප්‍රදේශයේම පදිංචිකාරියකි.

නමුත් පළමු රෝගියා සමඟ මෙම කාන්තාවට කිසිදු සම්බන්ධයක් තිබී නොමැති බව India Today පුවත් සේවය පවසයි.

සිව්වැනි රෝගියා ධරාවි හි මුකුන්ඩ් නගර් ප්‍රදේශයේ 48 හැවිරිදි පුද්ගලයෙකි.  

එම ප්‍රදේශයේ සියලුම අධි අවදානම් සම්බන්ධතා පරීක්ෂා කරනු ලබන අතර රෝග ලක්ෂණ සහිත රෝගීන් ධරාවි හි රජීව් ගාන්ධි ක්‍රීඩා සංකීර්ණයට ගෙන යනු ලැබේ.

එම ප්‍රදේශයේම තවත් පුද්ගලයකුට  වෛරසය වැළඳී ඇති බවට සැක කෙරේ.

Share