රෝග ලක්ෂණ නැති අයත් කොරෝනා පතුරුවනවා : ඇමෙරිකාවේ මුඛ ආවරණ පැළඳීමට නිර්දේශ කරන්න යයි

Staff Writer | Author . Translate to English or தமிழ் 03. 04. 2020 | 7.29pm
රෝග ලක්ෂණ නැති අයත් කොරෝනා පතුරුවනවා : ඇමෙරිකාවේ මුඛ ආවරණ පැළඳීමට නිර්දේශ කරන්න යයි

කොරෝනා වෛරසයේ පැතිරීම මන්දගාමී කිරීම සඳහා ඇමෙරිකාවේ කොරෝනා වෛරසය පැතිර තිබෙන ප්‍රදේශවල නිවසින් පිටවන අයට මුඛ ආවරණ පැළඳිය යුතු බවට නිර්දේශ කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සැරසෙන බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මෙම නිර්දේශ තවමත් සකස් කරමින් පවතින බවද පැවසේ.

මෙම නිර්දේශ අවම වශයෙන් ප්‍රජා සම්ප්‍රේෂණය හේතුවෙන් දැඩි ලෙස කොරෝනා වෛරසය පැතිරෙන ප්‍රදේශවල වෙසෙන අයට හෝ බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු ඇතැයි එම පුවත් සේවය කියයි.

ධවල මන්දිරයට සමීප නියෝජිතයකු පැවසුවේ නිවසින් පිටතදී නාසය සහ මුඛය ආවරණය කිරීම සඳහා වෛද්‍ය නොවන මුඛ ආවරණ නිර්දේශ කරනු ඇති බවයි.

මීට අමතරව ටී-ෂර්ට්වලින් හෝ ලේන්සු භාවිතා කළ නාසය හෝ කට ආවරණය කළ යුතු බවටත් නිර්දේශ කරනු ඇතැයි ඔහු පැවසීය.

ශල්‍ය මුඛ ආවරණ, විශේෂයෙන් N95 මුඛ ආවරණ කොරෝනා රෝගීන් සමඟ සෘජුව ගනුදෙනු කරන සෞඛ්‍ය අංශ සඳහා වෙන් කරනු ලබනු ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම නිර්දේශවලට සහය දක්වනු ඇති බවත් ජීවත් වන ප්‍රදේශය නොසලකා සියලු ඇමරිකානුවන්ට වුව මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වුව ඔහු කැමති වනු ඇති බවත් පැවසේ.

මේ අතර ට්‍රම්ප් නැවතත් කොරෝනා සඳහා පරීක්ෂණයක් සිදු කර ඇති අතර එය මිනිත්තු 15 කින් ප්‍රතිඵල ලබාගත හැකි වේගවත් පරීක්ෂණයකි. 

ඉන් ට්‍රම්ප්ට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි කී ධවල මන්දිරය ට්‍රම්ප් සෞඛ්‍ය සම්පන්නව සිටින බවත් රෝග ලක්ෂණ නොමැති බවත් කීය.

රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (සීඩීසී) මගින් මෙම නිර්දේශය රට පුරා සිටින සියලුම ඇමරිකානුවන්ට අදාළ වන  ලෙස සකස් කර ඇති බවට කෙටුම්පත දුටු නමුත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බලය නොමැති ෆෙඩරල් නිලධාරියෙක් පැවසීය.

මෙහි ව්‍යතිරේකයන් වනුයේ වයස අවුරුදු 2 ට අඩු කුඩා දරුවන්, හුස්ම ගැනීමට අපහසු ඕනෑම අයෙකු හෝ උදව් නොමැතිව ආවරණය ඉවත් කරගැනීමට නොහැකි අය ය.

පෙර නිර්දේශ යටතේ මුඛ ආවරණ පැළඳීමට උපදෙස් දෙනු ලැබුවේ රෝගී අයට හෝ ශ්වසන රෝගයෙන් සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති අයට පමණි.  

සෞඛ්‍ය සම්පන්න යැයි පෙනෙන පුද්ගලයින් ද ආසාදන පතුරුවන බවට පර්යේෂණ මගින් තහවුරු වීම යෝජනාවට හේතු වූ බව පැවසේ.

ලොස් ඇන්ජලීස් නගරාධිපති එරික් ගාර්සෙටි තම නගරයේ මිලියන හතරක වැසියන්ගෙන් ඉල්ලා සිටියේ මහජන ස්ථානවල සිටින විට මුඛ ආවරණ පළඳින ලෙසයි.

ඇමරිකානුවන්ට වෛරසයේ ආසාදන අවදානම නිර්වචනය කරන ආකාරය සීඩිසිය බදාදා වෙනස් කළේය.  රෝග ලක්ෂණ තිබුණත් නැතත් ඕනෑම අයෙකු වාහකයෙකු ලෙස සැලකිය හැකි බව එහි සඳහන් වේ.

වෛරසය බොහෝ දුරට පැතිරෙන්නේ කැස්ස හෝ කිවිසුම් යන ජල බිඳිති හරහා වුවද විශේෂඥයන් අවධාරණය කරන්නේ වෛරසය තවමත් සම්පූර්ණයෙන් වටහාගෙන නොමැති බවයි.

එක්සත් ජනපද නිලධාරීන් ජනතාවට පවසා ඇත්තේ හැකි තරම් නිවසේ රැඳී සිටින ලෙසයි. නිවසින් පිටතට යන විට අවම වශයෙන් අඩි හයක් (මීටර් දෙකක්) අනෙක් අයගෙන් ඈත්ව සිටින අතරම නිතර අත් සෝදන ලෙසත් මුහුණ ස්පර්ශ නොකරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

එහෙත් මේ වන තෙක් ෆෙඩරල් නිලධාරීන් ප්‍රසිද්ධියේ මුඛ ආවරණ භාවිත කරන ලෙසට ජනතාවට ප්‍රකාශ නොමැත.

ආසාදිත පුද්ගලයින් සමහර විට කැස්ස හෝ කිවිසුම් යාමට අමතරව COVID-19 වෛරස් අංශු ප්‍රාශ්වාස කරන බව විද්‍යාඥයන්ට බැහැර කළ නොහැකි නමුත් ඉන් අනෙක් අයට ආසාදනය විය හැකි දැයි පෙන්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ධවල මන්දිරයට උපදෙස් ලබාදීමට විද්‍යා, ඉංජිනේරු සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික ඇකඩමිය විසින් පිහිටනු ලැබූ කමිටුව පවස⁣යි.

Aljazeera ඇසුරෙන් 

Cover Photo : Stephanie Keith/Getty Images/AFP]

Share